බෙයිජිං අධිකරණයකින් චීනයේ සොඞ්ෂි සමාගම් සමූහයේ ( Zhongzhi Enterprise Group) හිටපු සභාපති ඇතුළු පිරිසකට වසර 4 සිට 14 දක්වා සිර දඬුවම් නියම කෙරේ.
නීතිවිරෝධී ලෙස පොදු අරමුදල් පරිහරණය සම්බන්ධයෙන් එම දඬුවම් පමුණුවා තිබේ. ඊට අමතරව, දඬුවම් ලද විධායක අධ්‍යක්ෂවරුන් මූල්‍ය දඩයකට ද යටත් කර ඇත. එම දඩ මුදල් කෙතෙක් දැයි අනාවරණය කර නැත.
මූල්‍ය ආයෝජන දේපළ කළමනාකරණ සමාගමක් වන එහි හිටපු සභාපතිවරයා ගාවෝ (Gao) නම් අයෙකි. ඔහු ඇතුළු අනෙකුත් විත්ති කරුවන් විසින් එරට ජාතික මූල්‍ය කළමනාකරණ නීතීන් සහ මූල්‍ය ප්‍රතිපත්ති නියමයන් උල්ලංඝනය කර ඇතැයි, අධිකරණයේදී අනාවරණය විය. 2024 අගෝස්තු මස ගාවෝ ඇතුළු එහි විධායක නිලධාරීන් 48 දෙනකුට එරෙහිව ඒ සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ගොනු කෙරිණි.
සමාගම 2024 ජනවාරි මස බංකොලොත් භාවය ප්‍රකාශ කර සිටියේය. එරට දේපළ වෙළඳපොල අර්බුද එට හේතු වශයෙන් දැක්විණි. ඊට පෙර, එම සමාගම, ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3ක ට අධික එරට සෙවනැළි බැංකු මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කොටස් කරුවකු විය. එරට දේපළ පිලිබඳ අභ්‍යන්තර ණය අර්බුදය, පෘථුල මූල්‍ය ක්ෂේත්‍රය තෙක් පැතිර යන බවට ද සැක පල කෙරිණි.
බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, සොඞ්ෂි සමූහය, ආයෝජකයින්ගෙන් සමාව අයැද සිටි අතර, ඇමෙරිකානු ඩොලර් බිලියන 64 කට අධික මූල්‍ය වගකීම් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කළ නොහැකි බව දන්වා සිටියේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :







