ලෙබනනයේ සයිඩන් නුවර ආසන්නයේ එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් හමුදා සාමාජිකයකු සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ලෙබනනය ප්‍රතික්ෂේප කරයි. ඉදි කිරීමක නිරතව සිටි සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙක් ඉලක්ක කර සඳුදා (22) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනන හමුදා සාමාජිකයකු ද ජීවිතක්ෂයට පත් විය.
ඔවුන් තිදෙනා, සිය හමුදා වෙත ප්‍රහාර සැලසුම් කරමින් සිටි බවට ඊශ්‍රායල හමුදා චෝදනා කළහ. ඉන්, දෙදෙනකු හිස්බුල්ලා ගුවන් ආරක්ෂක බලකා සාමාජිකයින් බවත්, ජීවිතක්ෂයට පත් අනෙක් පුද්ගලයා ලෙබනන හමුදා බුද්ධි නිලධාරියකු බවත් එම හමුදා පැවසූහ.
මෝටර් රථයක් ඉලක්ක කර එල්ල කළ, එම ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිය යුද හමුදා සහායක බලකායේ නිලධාරියකු වූ අලි අබ්දුල්ලා ඝාතනය වූ බව, ලේබනන යුද හමුදාව පසුව තහවුරු කළේය.
හමුදා නිලධාරීන් හෝ සාමාජිකයින්, එරට දේශපාලන හෝ වෙනත් කණ්ඩායම් හා සම්බන්ධ බවට එල්ල වන චෝදනා සාවද්‍ය බව, එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ලෙබනන හමුදාව සහ තම සංවිධානය අතර කිසිදු සබඳතාවක් නැතැයි, හිස්බුල්ලා සංවිධානය ද කියා සිටී.
ඊශ්‍රායල - ලෙබනන දේශ සීමාවේ මේ වන විටත් ක්‍රියාත්මක 'වහා බිඳෙන සුළු' සටන් විරාමය ආරක්ෂා කර ගැනීම පිණිස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම් තව දුරටත් අඛණ්ඩව සිදු කෙරේ. එක්සත් ජනපද තැරැව්කාරත්වයෙන් එහි, 2024 නොවැම්බර මස සිට එම සටන් විරාමය ක්‍රියාත්මක ය.
හිස්බුල්ලා සංවිධානය දකුණු ලෙබනනයේ හමුදා යටිතල පහසුකම් යළි ඉදි කරමින් ඇතැයි, ඊශ්‍රායල හමුදා චෝදනා කරති.
මේ වන විට එහි අවතැන් පිරිස් යළි සිය නිවෙස් වෙත පිටත් කර හැරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි සටන් විරාම අධීක්ෂණ කමිටුව කියයි. එහෙත්, එම ගිවිසුම් ප්‍රකාරව, වසර අවසන් වීමට ප්‍රථම හිස්බුල්ලා සංවිධානය නිරායුධ නොවන්නේ නම්, තත්ත්වය හාත්පස වෙනස් වනු ඇතැයි, එම කමිටුව පවසයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
12/24/2025
මුලාශ්‍රය :
Lebanon denies any army link to Hezbollah after Israeli strike







