ප්‍රහාරක යානා රැගෙන යන එක්සත් ජනපද යුද නෞකාවක් සහ පරිවාර සන්නද්ධ යාත්‍රා බලඇණියක් මැද පෙරදිග කලාපයට ඇතුළු වේ.
එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීහු ඊයේ (26) ඒ බැව් සනාථ කළහ.
කලාපයේ රැඳී සිටින එම හමුදාවන්හි ආරක්ෂාව තහවුරු කිරීම පිණිස සහ හදිසි අවස්ථාවෙක ඉරානයට පහරදීම සඳහා ට්‍රම්ප් රජය විසින් එම නෞකා පිටත් කර තිබේ. ඒ අනුව, එක්සත් ජනපද සන්නද්ධ මධ්‍යම අණ මූලය යටතේ පවතින මැද පෙරදිග කලාපයට, ප්‍රහාරක යානා රැගෙන යාත්‍රා කෙරෙන යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් (USS Abraham Lincoln) යුද නෞකාව සහ මිසයිල නාශක නෞකා රැසක් අනුයුක්ත කර ඇත.
1988 පෙබරවාරි 13 දා මුල්වරට දියත් කෙරුණු යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් නෞකාව න්‍යෂ්ටික ශක්තියෙන් බල ගැන්වේ. එය, එක්සත් ජනපද නාවුක හමුදාව සතු, එම වර්ගයට අයත්, පස්වන ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවය. නෞකාව, ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර 90කට ආසන්න සංඛ්‍යාවක් සහ දහස් සංඛ්‍යාත කාර්ය මණ්ඩලයක් රැගෙන යාමේ ධාරිතාවයෙන් ද යුක්ත වේ.
ඉරානය බලා යුද නෞකා ඇණියක් පිටත් කර හැර ඇත්තේ වුව, එය "සක්‍රීය" කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි අපේක්ෂා කරන බව, ජනපති ට්‍රම්ප් ඉකුත් බ්‍රහස්පතින්දා (22) පැවසීය.
මෙම මස මුල, ආසියා-පැසිෆික් කලාපයේ සිට එම නෞකා දියත් කෙරිණි.
ඉරානය තුළ මේ වන විටත් රාජ්‍ය විරෝධී මහජන උද්ඝෝෂණ ඇවිල පවතී. අරගලකරුවන් ඝාතනය වහා නතර නොකෙරේ නම්, ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් අනතුරු ඇඟවීය. එම අනතුරු ඇඟවීමත් සමග ඉරානය තුළ, මහජන විරෝධතා ද කෙමෙන් හීන විය. ඉරාන රජය විසින් පුද්ගල ඝාතන නවතා ඇති බවට සහ අත්අඩංගුවට පත්වූවන්ට මරණ දඬුවම් පැනවීමේ සූදානමක් නැති බවට තමන් වෙත සැළ කර ඇතැයි, ඔහු කියා සිටියේය.
යුද නෞකා බලගණයට අමතරව, මැද පෙරදිග කලාපයට, එක්සත් ජනපද ප්‍රහාරක යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති ද මුදා හැර තිබේ. එහි යුධ අභ්‍යාස පැවැත්වීමට නියමිත බව ද සති අන්තයේ නිවේදනය කෙරිණි.
නව තර්ජනය හමුවේ එල්ල වන කිසියම් හෝ ප්‍රහාරයක් පූර්‍ණ යුධ ප්‍රකාශ කිරීමක් සේ සලකා ප්‍රති ප්‍රහාර එල්ල කරන බව, ඉරානය ද අවධාරණය කර සිටී.
ඉරානයට එරෙහි කිනම් ආකාරයේ හෝ සතුරු ප්‍රහාරයක් වෙනුවෙන් සිය ගුවන්, සමුද්‍රීය හෝ දේශ සීමා කලාප භාවිතා කිරීමට කිසි සේත් ඉඩ ප්‍රස්තා නැතැයි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊයේ (26) පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබු ඩාබි අගනුවරට දකුණින් එක්සත් ජනපද අල් ඩෆ්‍රා ගුවන් හමුදා කඳවුර ස්ථාපිතව තිබේ. එය ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයකදී තීරණාත්මක යුද කේන්ද්‍රයකි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
US aircraft carrier enters Middle East region, officials say







