එක්සත් ජනපද ගුවන් - නාවුක බල ඇණියක් රැගත් ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව මැද පෙරදිග කලාපයට පිවිසීමෙන් අනතුරුව ඊයේ (27), ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් සහ සෞදි ඔටුන්න හිමි කුමරු මොහම්මෙද් බින් සල්මන් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.
ඊශ්‍රායල හෝ එක්සත් ජනපද ප්‍රහාරයක් පිලිබඳ ඉරානය දැඩි විමසිල්ලෙන් පසු වේ.
ඉරාන රජයට එරෙහි අරගලකරුවන් මර්දනයට විරෝධය පා එරටට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බව එක්සත් ජනපද රජය පසු ගිය සති කිහිපයේම කියා සිටියේය. ජන අරගලයෙන් මේ වන විටත්, දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් පිරිසක් මරු වැළඳ සිටිති.
ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන්
පෙසෙෂ්කියාන් සහ සල්මන් අතර දුරකථන සංවාදය, එක්සත් ජනපද 'තර්ජනය' පිළිබඳව ය. එම තර්ජනය කලාපීය ආරක්ෂාවට බාධාවක් බව එහිදී අවධාරණය කර තිබේ. කිසිවකුට ජය හිමි නොවන එවන් ගැටුමකදී සිදු වන්නේ, කලාපය අස්ථාවර වීම පමණකැයි, ඉරාන ජනපතිවරයාගේ අදහස ය.
ආර්ථික සහ බාහිර බලපෑම් හේතුවෙන් පසු ගිය කාලසීමාවේ ඉරානය බෙහෙවින් අස්ථාවර අඩියකට ඇද වැටුණු බව ජනපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
නායක දෙපළ අතර දුරකථන සංවාදයේදී, කලාපීය ස්ථාවරත්වය, ආරක්ෂාව සහ සංවර්ධනය පිලිබඳ සෞදි කුමරු පැහැදිලි සහතිකයක් ලබා දුන් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.
ඉරානයට එරෙහි කිනම් ආකාරයේ හෝ සතුරු ප්‍රහාරයක් වෙනුවෙන් සිය ගුවන්, සමුද්‍රීය හෝ දේශ සීමා කලාප භාවිතා කිරීමට කිසි සේත් ඉඩ ප්‍රස්තා නැතැයි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය දා පැවසීය.
සෞදි ඔටුන්න හිමි කුමරු මොහම්මෙද් බින් සල්මන්
කෙසේ වුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබු ඩාබි අගනුවරට දකුණින් එක්සත් ජනපද අල් ඩෆ්‍රා ගුවන් හමුදා කඳවුර ස්ථාන ගත කර තිබේ. එය ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයකදී තීරණාත්මක යුද කේන්ද්‍රයකි.
ඉරානයේ ස්වෛරීභාවය සහ කලාපීය ඒකාග්‍රතාව පිළිගැනීම සම්බන්ධයෙන් ඉරාන ජනපති විසින් සෞදි ඔටුන්න හිමි කුමරාට සිය හෘදයංගම ස්තුතිය පිරිනමා තිබේ.
(සටහන |Al Jazeera ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Iran’s President Pezeshkian warns of regional instability amid US threats







