ඊශ්‍රායල ඔත්තුකරුවකුට අද (28) ඉරානයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි.
එසේ එල්ලා මරණ ලද්දේ හමිඩ්‍රෙසා සබෙත් එස්මහිලීපූර් නම් ඔත්තු කරුවකු බව ඉරාන අධිකරණ මාධ්‍ය වන මීසාන් පැවසීය.
ඊශ්‍රායලය හා දශක ගණනක සෙවනැළි යුද්ධයෙක පැටලී සිටින ඉරානය මීට පෙරද එම චෝදනා මත පුද්ගලයින් රැසකට මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.
හමිඩ්‍රෙසා, 2025 අප්‍රේල් 29 දා ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි. ඔහු ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයට සම්බන්ධ අයකු බව ඉරානය චෝදනා කළේය. නෛතික ක්‍රියාවලියක් ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහි චෝදනා සැකයෙන් තොරව සනාථ කළ බව රාජ්‍ය මාධ්‍ය කියා සිටී.
මේ අතර, එක්සත් ජනපදය හා සාකච්ඡා ඉල්ලා මෑතකදී එරට විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සමග කතා බහ කළ බවට පළ වන පුවත් සාවද්‍ය බව, ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි පවසයි.
එක්සත් ජනපද ගුවන් - නාවුක බල ඇණියක් මැද පෙරදිග කලාපය වෙත පිටත් කර ඇති මොහොතේ, ටෙහෙරානය වහා වොෂින්ටනය සමග සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන බව, ජනපති ට්‍රම්ප් ඊයේ (27) පැවසීය.
"මා හා විට්කොෆ් අතර මෑතක කිසිදු කතා බහක් සිදුව නැහැ. ඒ වගේම, අපේ පාර්ශ්වයෙන් සාකච්ඡා සඳහා කිසිදු ඉල්ලීමක් ද සිදු කර නැහැ," යි අරඛ්චි පැවසීය. එහෙත් මැදහත් කරුවන් රැසක් මේ මොහොතේ උපදේශන පිණිස ටෙහෙරානය හා සම්බන්ධ ව සිටින බව ද ඔහු සඳහන් කළේය.
"අපේ ස්ථාවරය පැහැදිලියි. තර්ජන වලට බයේ නං අපි සාකච්ඡා මේසෙට වාඩි වෙන්නේ නෑ. ඔය කියන සාකච්ඡා සිද්ධ වෙන්නෙ, දැන් කරන පිස්සු විකාර නතර කරලා, අනවශ්‍ය ඉල්ලීම් ඉවත් කරගත් දාට පමණයි," ඔහු අවධාරණය කළේය.
ජාත්‍යන්තර නීතිය යටතේ, යුදකාමී පසුබිමින් තොර ඕනෑම ක්‍රියාවලියක් සාදරයෙන් පිළිගන්නා බව, ඉරාන ජනපති, මසූද් පෙසෙෂ්කියාන් ඊයේ සෞදි ඔටුන්න හිමි මොහම්මෙද් බින් සල්මන් කුමරු සමග දුරකථන සංවාදයකදී කියා සිටියේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Iran executes man accused of spying for Israel
Iran says it did not request negotiations with US







