රාජ්‍යවිරෝධී කුමන්ත්‍රණ කිහිපයක් සම්බන්ධයෙන් වරදකරු වූ හොං කොං මාධ්‍ය කුවේරයකු වන ජිමී ලායි ට එරෙහි දඬුවම් ලබන 09 දා ක්‍රියාත්මක කරන බව අද (6), නිවේදනය කෙරිණි.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුට එරෙහි චෝදනා පිලිබඳ නාගරික අධිකරණයක දී විභාග වූ නඩුව දෙස් විදෙස් පාර්ශ්ව රැසක අවධානයට ලක් විය. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තරය නඩු තීන්දුව සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර සිටිති.
78 වන වියෙහි පසුවන ලායි, මේ වන විට වසා දමා ඇති, ඇපල් ඩේලි (Apple Daily) පුවත්පතේ නිර්මාතෘවරයා ය. විදෙස් බලවේග සමග හවුල් ව කුමන්ත්‍රණ කිරීම සහ රාජ්‍ය විරෝධී පළකිරීම්වලට අදාළ චෝදනා දෙකක් සම්බන්ධයෙන් චීන නීති පද්ධතිය යටතේ ඔහු වරදකරු බව ඉකුත් දෙසැම්බරයේ, අධිකරණය විසින් තීරණය කෙරිණි.

එම චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බව, ලායි අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ ද, ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් හිමි වෙතැයි අපේක්ෂා කෙරේ.
හිටපු විධායක නිලධාරීන් සය දෙනකු හා තවත් අය සමග එක්ව 2019 අප්‍රේල් - 2021 ජුනි අතර කාලය තුළ රාජ්‍ය විරෝධී පළකිරීම් සිදු කිරීමට සිය පුවත්පත වේදිකාවක් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහි චෝදනා එල්ල විය. 2020 ජුලි සහ 2021 ජුනි අතර කාලවකවානුවේ එක්සත් ජනපදය ඇතුළු තවත් විදෙස් බලවේග හා එක්ව කුමන්ත්‍රණ කිරීමේ චෝදනා ද ඊට ඇතුළත් ය. විදෙස් බලවේග සමග එක්ව හොං කොං ආර්ථිකයට සහ චීනයට එරෙහි සම්බාධක පැනවීමට කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් ද ඔහු චෝදනාවට ලක් විය.
නාගරික අධිකරණයක 2023 දෙසැම්බර ඇරඹි ඔහුට එරෙහි නඩු විභාගය දින 156ක් සිදු කෙරිණි. 2019 හොං කොං හි දියත් කෙරුණු ප්‍රජාතාන්ත්‍රික ජන අරගලයෙන් පසුව චීන රජය එහි සුවිශේෂී ජාතික ආරක්ෂක නීතියක් ක්‍රියාත්මක කළේය.
දේශපාලන කරුණු මත වරදකරු කළ ලායි වහා නිදහස් කරන ලෙස එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ ජාත්‍යන්තරය ඉල්ලා සිටියද, ඔහුට එරෙහි නඩු විභාගය සාධාරණ සහ අපක්ෂපාතීව සිදු කෙරුණු බව චීන සහ හොං කොං රජයන් කියා සිටිති.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Hong Kong media tycoon Jimmy Lai to be sentenced on February 9







