බටහිර ඉවුර සම්බන්ධයෙන් ඊයේ (8) ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුව පියවර රැසක් අනුමත කළේය.
ඒ අනුව, ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින බටහිර ඉවුරේ පදිංචිකරුවන්ට එහි ඉඩම් මිලදී ගැනීම තව දුරටත් පහසු කෙරෙමින් පලස්තීනුවන්ගේ අයිතීන් පරයා ඊශ්‍රායල අධිකාරී බලය තහවුරු කර තිබේ.
බටහිර ඉවුර යනු, පලස්තීනුවන් අනාගත ස්වෛරී රාජ්‍යයක් ඉදිකිරීමට අපේක්ෂාවෙන් සිටින කලාපයේම කොටසක් වේ. එහි බහුතර බලය ඊශ්‍රායල සතුය. බටහිර සහාය ලබන පලස්තීන අධිකාරියට නතුව පවත්නේ අල්ප ස්වයං පාලන බලයකි.
නව ඊශ්‍රායල නීති ප්‍රකාරව, දශක ගණනක් පැරණි එහි නීති සංශෝධනය කෙරේ. නොඑසේව, පැරණි නීති මුළුමනින්ම ඉවත ලා නව නීති සම්පාදනය කෙරේ. ඒ අනුව, පලස්තීන අධිකාරියේ පාලනය යටතේ පවතින ප්‍රදේශයන්හි ද, පාරිසරික උවදුරු, ජල ගැටළු මෙන්ම, පුරාවිද්‍යා ස්ථාන ඉලක්ක කර සිදු කෙරෙන හානි අධීක්ෂණය සහ තෝරා ගත් ආගමික මධ්‍යස්ථාන පරිපාලනය ඊශ්‍රායල පාලනය යටතට පත් කෙරේ.
එම නව පියවර අතිශය අන්තරයකර සහ අනීතික බව, පලස්තීන ජනපති මහ්මුද් අබ්බාස් පවසයි. එය පලස්තීන නිජ බිම ඊශ්‍රායලයට ඈඳා ගැනීමකැයි ඔහු කියා සිටී.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතෙන්යාහු, වොෂින්ටනයේදී එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට තෙදිනකට පෙර නව නීති පැනවීමට කටයුතු කිරීම ද විශේෂත්වයකි.
ඊශ්‍රායලයේ නව නොපනත්කමට එරෙහිව මැදිහත් වන ලෙස අබ්බාස්, එක්සත් ජනපදයෙන් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටී.
බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීම පිළිබඳව ජනපති ට්‍රම්ප් මීට පෙර සිය විරෝධය ප්‍රකාශ කළේය. එහෙත්, එහි නව යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් රජය විරෝධය පළ කර නැත. ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී පියවර සිය නිජ බිම කා දැමීමක් බව පලස්තීන ජනයා කියා සිටිති.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම වසර අග මැතිවරණයකට මුහුණ දීමට නියමිත ය. පලස්තීන රාජ්‍යයක බිහිවීම ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් බව ඔහු පුන පුනා පවසයි. ඔහුගේ පාලක සන්ධානයේ බටහිර ඉවුරේ යුදෙව් පදිංචි කිරීම් සාධාරනීකරණයට පක්ෂපාතී මන්ත්‍රීවරු රැසක් වෙති. 1967, මැද පෙරදිග යුද්ධයෙන් දිනා ගත් බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගත යුතු බව, ඔවුහු තරයේ කියා සිටිති. ඓතිහාසික සාධක සහ බයිබලය අනුව, එය ඊශ්‍රායලයේ ම කොටසක් බව ඔවුහු අවධාරණය කරති.
පලස්තීන කලාපයේ ඊශ්‍රායල අත්පත්කරගනීම් සහ ජනාවාසකරණය නීති විරෝධී බවත්, එය වහා අවසන් කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ උපරිමාධිකරණය 2024 වසරේ තීන්දු කළේය. ඒ පිලිබඳ ඊශ්‍රායලය සිය විරෝධය පළ කර සිටී.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Israel to expand its control in West Bank, make settlers' land seizures easier, media say







