බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය නිමා කළ 2024 ශිෂ්‍ය අරගලයෙන් පසු පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ එරට ප්‍රථම වරට අද (12) මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
එම ජනතා නැගිටීමේදී අවම වශයෙන් විරෝධතාකරුවන් 1,400ක් පමණ මියගියේය. එම මර්දනය සඳහා සෘජුවම නියෝග ලබා දුන් බවට හසීනාට චෝදනා එල්ල වූ අතර ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණ.
විරෝධතා හමුවේ රටින් පලා ගිය ෂෙයික් හසීනා මේ වනවිට ඉන්දියාවේ රැඳී සිටී. ඒ ඉන්දීය රජයේ ආරක්ෂාව යටතේය.
හසීනා රටින් පලාගිය දා සිට නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයක් බංග්ලාදේශය පාලනය කිරීමට සමත් විය.
පසුගිය නොවැම්බර් මාසයේදී, බංග්ලාදේශ අධිකරණයක් විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කළේය.
ෂෙයික් හසීනා
ඒ අතර ඇයගේ පක්ෂය වන අවාමි ලීගය (Awami League) මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කර තිබේ.
මෙම මැතිවරණ සටන ප්‍රධාන වශයෙන් බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) සහ ඉස්ලාමීය පක්ෂයක් වන ජමාත්-ඉ-ඉස්ලාමි (Jamaat-e-Islami) අතර පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අතරින් අභාවප්‍රාප්ත වූ බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියාගේ බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරියෙන් සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එම පක්ෂයට නායකත්වය දෙන්නේ කලීඩා සියාගේ පුත්‍රයා වන තරීක් රෙහ්මාන් ය.
ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය මෙවර ශිෂ්‍ය අරගලයෙන් බිහි වූ නව පක්ෂයක් සමග සන්ධානගතව තරග කරන බවට වාර්තා වේ.
ජනතාව මෙහිදී නව රජයක් තෝරා පත් කර ගැනීමට අමතරව, ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන ජනමත විචාරණයකට ද දායක වේ.
අද පැවැත්වෙන මෙම මැතිවරණය බංග්ලාදේශයට නියෝජිත පාලනයක් සහිත නව යුගයක් උදා කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. එහි සුළුතරය වන්නේ හින්දුවරුන්ය. දැඩි අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් බංග්ලාදේශයේ තම ආධිපත්‍ය පතුරුවමින් හින්දු විරෝධී ක්‍රියාකාරකම්වල නියැලෙන අතර, බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලය අසල්වැසි ඉන්දියාවට වඩා පාකිස්තානය, චීනය වෙත නැඹුරු වී සිටී.
අද (12) පැවැත්වෙනු ඇත්තේ, බංග්ලාදේශයේ 13 වැනි මහ මැතිවරණයයි. ඡන්ද විමසීම පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස 299ක් පුරා උදෑසන 7.30 සිට සවස 4.30 දක්වා පැවැත් වීමට නියමිත බව මැතිවරණ බලධාරීහු පවසති. ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ වහාම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වනු ඇත.
මැතිවරණ කොට්ඨාස 299ක ඡන්ද විමසීම් මෙහෙයවීම සඳහා 800,000ක ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් පිරිසක් සහභාගී වන අතර මෙවර දේශපාලන පක්ෂ 50 ක් තරග බිමට පිවිස සිටී. ස්වාධීන අපේක්ෂකයන්ට අමතරව දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 2,028 දෙනෙකු තරග වදින බව ද පැවැසෙයි.
මැතිවරණයේ විනිවිදභාවය ඉහළ නැංවීමට සහ මැතිවරණ වංචා වැළැක්වීම සඳහා ප්‍රථම වතාවට ඩ්‍රෝන යානා සහ සිරුරේ රැඳවිය හැකි කැමරා ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනෙනු ඇතැයි ද මැතිවරණ බලධාරීහු පවසති. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් 958,000ක් යොදවා ඇති අතර, ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන ප්‍රදේශ සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත.
මීට අමතරව 100,000කට අධික යුද හමුදා භට පිරිසක් ද මැතිවරණ සේවයේ යොදවා ඇත. ඩකා අගනුවර ප්‍රධාන ප්‍රදේශ පුරා සන්නද්ධ රථ සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ බළඇණි ස්ථානගත කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අපේක්ෂකයකුගේ හදිසි අභාවය හේතුවෙන් ෂර්පූර්-3 මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද විමසීම මැතිවරණ කොමිසම විසින් අවලංගු කර ඇතැයි ද වාර්තා වේ.
පාකිස්තානය, භූතානය, ශ්‍රී ලංකාව, නේපාලය, චීනය සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් කිහිපයක් බංග්ලාදේශයට මැතිවරණ නිරීක්ෂකයන් එවා ඇති නමුත් ඉන්දියාව මෙවර කිසිදු නිරීක්ෂකයෙකු එවා නොමැති බව ද මාධ්‍ය වාර්තා කර ඇත. විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් 100කට ආසන්න පිරිසක් සහ විදේශීය මාධ්‍යවේදීහු 197 දෙනකු බංග්ලාදේශයේ රැඳී සිටින බව බංග්ලාදේශ මාධ්‍ය පවසයි.
මුලාශ්‍රය :
Bangladesh votes in first election since Gen Z protests ousted former PM Sheikh Hasina
Bangladesh election 2026 live news: Polls open amid heavy security
Bangladesh tightens security ahead of first election since 2024 uprising
Bangladesh holds its first election since ousting its former leader







