ඉරානය සමග පැහැදිලි එකඟතාවකට පැමිණීම අපහසු බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී.
රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පිලිබඳ අපේක්ෂා පෙරදැරිව සති කිහිපයක් අවනතව සිටි එක්සත් ජනපද හමුදා, ඉරානයට පහර දීමට සිය ජනපතිවරයා විසින් කුමන මොහොතක හෝ සන් කරනු ඇතැයි සීරුවෙන් පසු වෙති.
දෙරට අතර මීට පෙර පැවති ගැටුමට ඉඳුරා වෙනස් අතිශය දරුණු යුද්ධයක් පිලිබඳ කලාපය සේම, ලොවම සලිතව සිටින්නේය.
පසු ගිය සතියේ දෙරට රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඕමානයේදී මුණගැසුණහ. ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ විය. එම කතා බහ අතරේම, ජනපති ට්‍රම්ප්, මැද පෙරදිග කලාපයේ සිය හමුදා තර කිරීමට පියවර ගත්තේය.
පෙන්ටගනය, එම කලාපයට තවත් අමතර යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් පිටත් කළ බව ඊයේ (13) දැන්විණි. ඊට දහස් සංඛ්‍යාත එක්සත් ජනපද හමුදා භට පිරිසක්, ප්‍රහාරක යානා, මිසයිල නාශක පද්ධති මෙන්ම අධි බල අවි සහ ආරක්ෂක පද්ධති ද ඇතුළත් ය.
ජනපති ට්‍රම්ප්, ඊයේ උතුරු කැරොලීනා යුද කඳවුරේදී, එක්සත් ජනපද හමුදා ඇමතීය. ඉරානය සමග එකඟතාවකට පැමිණීම අපහසු බව ඔහු සිය හමුදාවන්ට දන්වා සිටියේය.
"සමහර වෙලාවල්වලදී අප ඇත්තටම බිය විය යුතුයි. අන්න ඒ වෙලාවට තමා අපට නිසැකවම, තත්ත්වය හරියටම පාලනය කරගන්න පුළුවන්," ඔහු පැවසීය.
ඉරානය සම්බන්ධයෙන් සියළු තුරුම්පු දැන් ඇත්තේ ජනපති ට්‍රම්ප් සතුව බව ධවල මන්දිරය කියයි. "ඔහු ගැටළුවක් පිලිබඳ අවසන් තීරණයට කලින් විවිධ පැතිකඩින්, විවිධ කෝණයන්ගෙන් හොඳින් සවන් දෙනවා. එහෙත්, ඔහු අවසන් තීරණයට එළඹෙන්නේ, අප රටේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව මත පිහිටා පමණයි," ධවල මන්දිර ප්‍රකාශිකා, ඇන්නා කෙලී පවසයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/14/2026
(
මුලාශ්‍රය :
Exclusive: US military preparing for potentially weeks-long Iran operations







