ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ අවසන් එකඟතාවකට නොපැමිණේ නම්, එහි විපාක අතිශය දරුණු විය හැකි බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) අනතුරු ඇඟවීය.
ඒ සඳහා ලබා දිය හැක්කේ තවත් දින 10 -15 අතර කාලයක් පමණක් බව ද ඔහු අවධාරණය කළේය.
මේ වන විටත් මැද පෙරදිග එක්සත් ජනපද හමුදා තර කර තිබේ. ඉරානයට ප්‍රහාර එල්ල කළ හොත්, මැද පෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය විසින් අනතුරු අඟවා ඇත.
ඉරානය සමග තව දුරටත් සාකච්ඡා කරන මුත්, අර්තවන්විත විසඳුමකට ඔවුන් කඩිනමින් එකඟ විය යුතු බව, ට්‍රම්ප් පරිපාලනය පවසයි.
එසේ නොවන්නේ නම්, ඉරානයට සැබවින්ම අනිටු ප්‍රති විපාකයන්ට මුහුණ දීමට සිදුවන බව වොෂින්ටනයේ පැවති සිය ප්‍රථම සාම මණ්ඩල හමුව අමතමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
"ගිය අවුරුද්දෙ ජුනි මාසේ අපි ඉරානයට පහර දුන්නා. ඔවුන්ගේ න්‍යෂ්ටික ශක්තිය දශමෙට බැස්සුවා. දැන්, අපිට තියෙන්නේ, තව ටිකක් ඉස්සරහට යනවද, නැද්ද කියන ප්‍රශ්නේ විතරයි. උපරිම දෙන්න පුළුවන් තව දවස් 10 - 15ක් විතරයි. ඊට වඩා නම් කොහෙත්ම බෑ," සිය නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් ඇමතූ ජනපතිවරයා පැවසීය.
මේ අතර, ඉරාන රජය විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්, අන්තෝනියෝ ගුටෙරෙස් වෙත ලිපියක් නිකුත් කර තිබේ. ටෙහෙරානය යුද්ධයක් පිණිස ඉක්මන් නොවන බවත්, කෙසේ වෙතත්, යම් සන්නද්ධ "උසි" ගැන්වීමකදී, ආත්මාරක්ෂාව පිලිබඳ අයිතීන් යටතේ තීරණාත්මක සහ සමානුපාතික ලෙස ප්‍රතිචාර දක්වන බවත් එහි සඳහන් ය. ඒ අනුව, කලාපයේ ස්ථාපිත සියලු සතුරු කඳවුරු, පහසුකම් මෙන්ම ඊට අයත් සම්පත් ඉරානයේ නිසැක ඉලක්ක බව ද එහි දැක්වේ.
"එම සියලු විපත් හි වගකීම එක්සත් ජනපදය සතුය," යනුවෙන් එහි වැඩි දුරටත් සඳහන් කර තිබේ.
ඉරානය වෙත එල්ල කෙරෙන ජනපති ට්‍රම්ප්ගේ බෝම්බ තර්ජන හේතුවෙන් ගෝලීය තෙල් මිල ස්ථාවරත්වයෙන් ගිලිහීමේ අවදානමේ පවතී.
ඊයේ, ඕමාන ගල්ෆ් තුඩුවේ පැවති ඉරාන හමුදා අභ්‍යාස සඳහා රුසියානු යුද නෞකාවක් ද එක් විය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/20/2026
(
මුලාශ්‍රය :
Trump warns Iran of 'bad things' if no deal made, sets deadline of 10-15 days







