එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ එළැඹි අතිශය තීරණාත්මක බදු ප්‍රතිපත්ති පිලිබඳ නියෝග අවලංගු බව මේ වන විටත් දන්වා තිබේ.
පසුගිය වසර තුළ අධිකරණය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බොහෝ වැදගත් නඩු කටයුතු වලදී ට්‍රම්ප්ට සහාය දැක්වීය. එහිදී අධිකරණය විසින් ලබා දුන් තීරණ මඟින් ඔහුගේ බලය ශක්තිමත් කළේය. සංක්‍රමණ ප්‍රතිපත්ති, යුධ හමුදා සේවය, සහ ෆෙඩරල් රාජ්‍ය සේවය ආදී ක්ෂේත්‍රවල ඉක්මන් වෙනස්කම් සිදු කිරීමට එමගින් ඔහුට අවස්ථාව ලැබුණි.
එහෙත්, මෙවර අධිකරණය ඔහුට විරුද්ධ විය. එය තීරණාත්මක ද විය.
ඒ අනුව, එක්සත් ජනපදය හා ගනුදෙනුවේ යෙදෙන බොහෝ වාණිජ හවුල්කරුවන්ට එරෙහිව විශාල පරිමාණයෙන් ගෝලීය බදු (tariffs) පැනවීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසු ගිය සිකුරාදා (2) තීරණය කළේය. ඔහු, ෆෙඩරල් නීතියෙන් ලබාදී ඇති බලය ඉක්මවා ගොස් ඇති බව, අධිකරණය කියා සිටියේය.
මෙම තීරණයේ ලිඛිත අයිතිය ප්‍රධාන විනිසුරු ජෝන් රොබට්ස් සතුය. එහිදී, ජනපති ට්‍රම්ප් විසින් අනුදත්, 1977 වසරේ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලය පිලිබඳ පනතේ (International Emergency Economic Powers Act) එන නීතිමය ප්‍රතිපාදන මගින් ජනාධිපතිවරයාට එවැනි බදු පැනවීමට බලයක් නැතැයි අධිකරණය පැහැදිලිව තීරණය කළේය. පෙර කිසිදු ජනාධිපතිවරයෙකු මෙම නීතිය මේ ආකාරයෙන් 'අවභාවිතා' නොකළ බව ද එහිදී පෙන්වා දුන් තවත් වැදගත් කරුණක් විය.
6–3ක් වූ බෙදුම් තීරණයකින්, ජනපති ට්‍රම්ප්ගේ නීති විවරණය වැරදි බවට වූ පහළ අධිකරණයේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළේය. “ආනයන නියාමනය කිරීම” සඳහා නීතිය බලය ලබා දුන්නද, “බදු පැනවීම” සඳහා එමගින් ජනපතිවරයාට බලයක් නැතැයි, ප්‍රධාන විනිසුරු රොබට්ස් සඳහන් කළේය.
නීති විශේෂඥයන් අනුව, මෙම තීරණය මඟින් අවශ්‍ය නම්, ජනපති බලතල යම් අවස්ථාවල සීමා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව ඇතැයි අනාවරණය වේ. නොඑසේව එය ඊට සැදී පැහැදී සිටී. වත්මන් නෛතික ප්‍රතිපාදන මගින් හිමි නොවන, නව බලතල අවශ්‍ය නම්, ඒ සඳහා කොන්ග්‍රසයෙන් නව නීති සම්මත කරවා ගැනීම ජනාධිපතිවරයාගේ වගකීම බව, එමගින් අවධාරණය කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතරය කොන්සර්වර්ටිව් විනිසුරුවන් වුවද, මෙම තීරණය දේශපාලනිකව නොබෙදේ. ට්‍රම්ප් විසින් පත්කළ විනිසුරුවන් දෙදෙනෙකු ඇතුළු කොන් සර්වර්ටිව් විනිසුරුවන් තිදෙනකු, අනෙකුත් ලිබරල් විනිසුරුවන් තිදෙනා හා එක්ව ජනපතිවරයා විසින් පනවන ලද බදු අවලංගු කිරීමට සහාය දුන්හ. තවත් කොන්සර්වර්ටිව් විනිසුරුවන් තිදෙනෙක් ඊට විරෝධය පළ කළහ.
ජනපති ට්‍රම්ප්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැඩි ලෙස විවේචනය කළේය. ඔහුට විරෝධය පෑ විනිසුරුවන් “අමනයින්” ලෙස හැඳින්වීය. අධිකරණය විදෙස් කුමන්ත්‍රණ සහ බලපෑමට යටවී ඇතැයි චෝදනා කළේය.
ඔහුගේ පළමු ධුර කාලය තුළද ශ්‍රේෂ්ඨාධිකරණය කිහිප වරක් ඔහුට විරුද්ධව තීරණ ලබා දුන්නේය. ජාතික ජනසංගණන ප්‍රශ්නාවලියට පුරවැසිභාවය පිළිබඳ පැනයක් එක් කිරීම වැළැක්වීම සහ 'සිහින-දකින්නන්' (Dreamers) ලෙස හැඳින්වෙන ළමුන් ලෙස අනීතිකව එක්සත් ජනපදයට ඇතුළු වූ යෞවන සංක්‍රමණිකයන් නෙරපා හැරීමෙන් වැලැක්වීමේ ආරක්ෂණය අවසන් කිරීම අවලංගු කිරීම එවැනි උදාහරණ කිහිපයකි.
කෙසේ වුව, නීති විශාරදයින් පවසන්නේ, මෙම තීරණය, ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවල ගුණාත්මකභාවය පිළිබඳ විනිශ්චයක් නොව, නීතිමය සීමා පිළිබඳ තීරණයක් පමණක් බවය.
සරලව කියතොත්, කොන්ග්‍රසය විසින් ලබාදුන් බලසීමා තුළ පමණක් ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු බව, ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම ප්‍රකාශ කර ඇත.
නොනවතින ට්‍රම්ප්, එම අධිකරණ තීන්දුවෙන් පසු තවත් නොපනත් ක්‍රියාවක් සිදු කළේය. ජාත්‍යන්තරයෙන් එක්සත් ජනපදය වෙත සිදු කෙරෙන සෑම ආනයනයකින්ම 10%ත් - 15%ත් අතර උපරිම ගෝලීය බද්දක් පනවන බව ඔහු ඊයේ (21) නිවේදනය කළේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/22/2026
(
මුලාශ්‍ර :
With tariffs ruling, Supreme Court reasserts its power to check Trump
After court ruling, Trump says US global tariff rate will rise from 10% to 15%







