උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂ සම්මේලනයේදී, ජනපති, කිම් ජොං උන් යළි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තෝරා පත්කර ගැනේ.
එම තීරණයත් සමග උතුරු කොරියානු නායකයා සතු පූර්ණ බලය තවදුරටත් තහවුරු කෙරේ. එය පාලක පක්ෂය මත, රටේ අභ්‍යන්තර ස්ථාවරත්වය පිළිබඳ දැඩි විශ්වාසය පල කිරීමකැයි, දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
කිම් ජොං උන්ගේ නායකත්වය යටතේ රටේ සම්භාවනීයත්වය වර්ධනය වූ බවත්, එරට හමුදාව ශක්තිමත් සහ විශේෂ බලකායක් බවට පත් කළ බවත් KCNA රාජ්‍ය පුවත් සේවය අද (23) පැවසීය. තව ද, ඔහුගේ නායකත්වය යටතේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික යුද ශක්‍යතා වර්ධනය වූ බවද එහි සඳහන් ය.

උතුරු කොරියානු නායකයා, පක්ෂ මහ ලේකම් ධුරයේ යළි තේරී පත්වීම, ඔහු 'අර්බුධ කළමනාකරණ’ අවධිය අවසන් කර, දිගුකාලීන ස්ථාවර පාලනයකට පිවිසීමකැයි, එරට දේශපාලන අධ්‍යයන වෘත්තිකයෝ පවසති.
මෙම සම්මේලනයේදී පක්ෂ මධ්‍යම කමිටුවට නව සාමාජිකයින් ද තේරී පත් විය. ඇතැම් පක්ෂ නීති සංශෝධනද අනුමත කෙරිණි. සවිස්තර සංශෝධන මෙතෙක් අනාවරණය කර නැත. පැරණි නායක මණ්ඩලයට අයත් ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කමිටුවෙන් ඉවත් කිරීමට ද පියවර ගැනිණි.

කිම් ජොං උන්ගේ තරුණ දියණිය, 'ජු ඒ' මෙම සම්මේලනයට සහභාගී වී දැයි තතු අනාවරණය නොවේ. ඇය අනාගත නායකත්වය සඳහා සූදානම් කෙරෙමින් ඇතැයි විශ්වාස කෙරේ.
සෑම වසර පහකට වරක් පැවැත්වෙන මෙම සම්මේලනයට මෙවර, පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයෝ 5,000 ක් සහභාගී වූහ. නව අභ්‍යන්තර හෝ විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළි දැක්වීම සම්බන්ධයෙන්, එම සම්මේලනය, දකුණු කොරියාවේ දැඩි නිරීක්ෂණයට බඳුන් විය.
මෙතෙක් එවන් විශේෂිත නව ප්‍රතිපත්ති කිසිත් ප්‍රකාශ ව නොමැති අතර, උතුරු කොරියාව ආර්ථික අර්බුදය ජය ගත් බවට සහ රට සැම විටම පක්ෂ නායකත්වය යටතේ ඉදිරියට ගමන් කළ බව පමණක් සම්මේලනය මගින් අවධාරණය කර තිබේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
North Korea's ruling party re-elects Kim Jong Un general secretary







