නේපාලයේ කඳුකර මාර්ගයක ධාවනය වෙමින් පැවති මගී ප්‍රවාහන බස් රථයක් පෙරළී අද (23) අනතුරක් සිදුව ඇත.
අනතුරින් පුද්ගලයින් 19 දෙනකුට දිවි අහිමි වී ඇති අතර ඉන් එක් අයෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. අනතුරින් මිය ගිය පුද්ගලයින්ගෙන් මෙතෙක් හඳුනා ඇත්තේ 9 දෙනකු පමණි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 44 දෙනෙක් ගමන් කර තිබේ. අනතුරින් තුවාළ ලත් 25 දෙනකු අතර නවසීලන්ත ජාතිකයකු සහ චීන ජාතිකයකු ද වන බව වාර්තා වේ.

බසය, සංචාරක ගමනාන්තයක් වන පොඛාරා සිට කත්මන්ඩු අගනුවර බලා ධාවනය වෙමින් තිබියදී අනතුර සිදු විය.
බටහිර කත්මන්ඩු සිට කි.මී.80ක් දුරින් පිහිටි ධාදිඞ් දිස්ත්‍රික්කයේ බෙහිඝාත් හි මාර්ගයක ධාවනය වෙමින් පැවති එය මීටර 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි, නේපාල පොලිසිය සඳහන් කරයි.
තුවාළ ලැබූවෝ, කත්මන්ඩු රෝහල්හි ප්‍රතිකාර ලබමින් සිටිති.

අයහපත් මාර්ග තත්ත්වයන් හේතුවෙන් නේපාලයේ මෝටර් රථ අනතුරු සුලබ ය. එහි, එම අනතුරු හේතුවෙන් වාර්ෂිකව සිය ගණනක් මරණයට පත් වෙති.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
British national among 19 killed in Nepal bus crash







