ඉරාන පාලනය ප්‍රතික්ෂේප කරමින් ඊයේ (23) තෙවන දිනටත් එරට ශිෂ්‍ය උද්ඝෝෂණ පැවැත්විණි.
අන්තවාදී පාලන තන්ත්‍රයට එරෙහිව මීට සති ගණනකට ඉහත මගට බට ජනතාව ආරක්ෂක හමුදා විසින් මර්දනය කෙරිණි. රජයේ හමුදා විසින් දහස් සංඛ්‍යාත ඉරාන ජනතාව අමු අමුවේ ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
මේ අතර කුමන මොහොතක හෝ එක්සත් ජනපද හමුදා ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ අවදානම තව දුරටත් උත්සන්න වෙමින් පවතී.
ඊයේ, ශිෂ්‍ය උද්ඝෝෂකයෝ රාජ්‍ය විරෝධී සටන් පාඨ කියමින් ටෙහෙරාන් විශ්වවිද්‍යාලය අසල විරෝධතාවේ නිරත වූහ. ඔවුහු ජාතික ධජය ගිනි තැබූහ. කාන්තා විශ්ව විද්‍යාලයක් ඇතුළු අගනුවර පිහිටි විශ්ව විද්‍යාල කිහිපයක් ම එම උද්ඝෝෂණවලට එක්විය.
" ඉරානය යළි අප වෙත පවරා ගන්නෙමු," ශිෂ්‍ය සටන් පාඨ එසේ විය.
මැද පෙරදිග තත්ත්වය 'එන්න එන්නම' නොසන්සුන් වන අතරවාරයේ, එක්සත් ජනපදය, ලෙබනනයේ බීරුත් හි සිය තානාපති කාර්යාලයේ අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල සහ එම පවුල් සාමාජිකයින් ඉන් ඉවත් කර ගැනීමට පියවර ගත්තේය.
පසුගිය ජනවාරි මස ඉරානය පුරා රජයට එරෙහි ජන අරගල ඇරඹි විට, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉරානයට දැඩි අනතුරු ඇඟවීම් සිදු කළේය. ජන මර්දනය වහා අවසන් නොකෙරේ නම්, පාලකයින්ට එහි අනිටු විපාක වලට මුහුණ දීමට සිදුවන බව ඔහු අවධාරණය කළේය.
ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ මිසයිල වැඩසටහන පිලිබඳ පැහැදිලි එකඟතාවකට නොපැමිණෙන්නේ නම්, ඉරානයට පහර දෙන බවට ඔහු තර්ජනය කළේය. "ඉරානය සතුව කෙසේ, කුමන අයුරකින්වත් දිගු දුර මිසයිල තියෙන්න බෑ," ජනපති ට්‍රම්ප් තරයේ කියා සිටියේය.
ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හළ යුතු බව වොෂින්ටනයේ ඒකායන මතයයි. ඉස්ලාමීය රාජ්‍යය න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ වෑයම නවතා නැතැයි එක්සත් ජනපද රජය චෝදනා කරයි. එහෙත්, තම පසේ හමුවන යුරේනියම් පෝෂණයට තමන් සතු ශුද්ධ අයිතිය එක්සත් ජනපදය විසින් තහවුරු කළ යුතු බව ඉරානය කියා සිටී. එය සාමකාමී සංවර්ධනයක් උදෙසා පමණක් බව ද රජය පවසයි. එක්සත් ජනපද ප්‍රහාරයකදී, ප්‍රථමයෙන්, මැද පෙරදිග පිහිටි එම හමුදා කඳවුරු විනාශ කර දමන බවට ඉරානය ද පෙරළා තර්ජනය කරයි.
ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි සිය 36 වසරක පාලන සමයේ 'නරකම' අවධියේ පසු වේ. ජාත්‍යන්තර ආර්ථික සම්බාධක හමුවේ ඉරානය අන්ත අසරණව ඇත. ඒ හේතුවෙන් රජයට එරෙහි දැවැන්ත ජන අරගලයක් ඇවිල පවතී.
මැද පෙරදිග කලාපයට එක්සත් ජනපදය ප්‍රහාරක යානා රැගෙන යන දෙවන නෞකාවක් ද පිටත් කර තිබියදී වුව, දෙරට අතර සාකච්ඡා අපේක්ෂා සහගත බව ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන්, ඉරිදා (22) ප්‍රකාශ කළේය.
ඉරානයට ප්‍රහාර එල්ලේ කිරීමේ සිය සැලැස්ම පිලිබඳ ජනපති ට්‍රම්ප් තව දුරටත් මුනිවත රකිමින් සිටින්නේය. ඔහුගේ පරිපාලනය එක හඬින් යුද්ධය ඉල්ලා සිටියහොත්, ඔහු තවත් තත්පරයකුදු ඊට පමා නොවන බව නම් පැහැදිලිය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Iranian students protest for third day as US pressure mounts







