ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ට අමතරව එරට තවත් හමුදා ප්‍රධානීන් රැසක් සිය ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව, ඊශ්‍රායලය සඳහන් කරයි.
ඉරානයේ තාවකාලික පාලනය ජනපති මසූද් පෙසෙෂ්කියන් ඇතුළු කවුන්සිලයක් විසින් සිදු කෙරේ. අධිකරණ ප්‍රධානී සහ ප්‍රබල භාරකාර කවුන්සිල සාමාජිකයකුද ඊට අයත් වෙති. උත්තරීතර නායකයා විසින් ඉටු කළ කාර්යය භාරය තාවකාලිකව, නව කවුන්සිලය වෙත පැවරේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියළු නෞකා ප්‍රවාහනයට වසා දැමූ බව ඉරානය ඊයේ (2) නිවේදනය කළේය. ඒ ඔස්සේ යාත්‍රා කරන එරටට අයත් නොවන කිනම් නෞකාවකට හෝ පහර දෙන බව ද දැන්විණි.
ලෝක තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේය. එය ඕමානය සහ ඉරානය අතර පිහිටා තිබේ. එය එහි උතුරින් දකුණු ඕමාන ගල්ෆ් කලාපයට සහ අනතුරුව අරාබි මුහුදට සම්බන්ධ වේ.
එහි පටු කොටස සැතපුම් 21ක (කි.මී.31) ක පළලින් යුක්ත වන අතර නෞකා ප්‍රවේශ මාර්ගය සැතපුම් 2 (කි.මී.3) ක පළලින් යුක්තය.
ඉකුත් වසරේ දෛනිකව ඒ ඔස්සේ බොර තෙල් බැරල මිලියන 20ක් සහ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනය විය.

ඔපෙක් සාමාජිකයින් වන සෞදි අරාබිය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ක්වේටය සහ ඉරාකය ප්‍රධාන වශෙයෙන් ආසියාව වෙත සිය බොර තෙල් සහ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනය කරන්නේ ඒ ඔස්සේ ය.
සෞදි අගනුවර රියාද් හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ද ඉරාන ඩ්රෝන ප්‍රහාරවලට ලක්ව තිබේ. පිපිරීම්වලට පසු එහි ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.
පාසල් සිසුවියන් 160ක් ඝාතනය කරමින් එක්සත් ජනපද හමුදා ඉරාන පාසලකට පහර දුන් බවට චෝදනා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජනපද හමුදා සිතා මතා එවැනි ක්‍රියාවක් සිදු නොකළ බව ඔහු කියා සිටී. යුනෙස්කෝ සංවිධානය විසින් ද එම ප්‍රහාරය තරයේ හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
(සටහන Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
3/3/2026
මුලාශ්‍රය :
Iran war live: Iran says Strait of Hormuz closed and warns it will attack ships trying to pass







