පූර්ව-ආරක්ෂිත පියවරක් ලෙස ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 28) ඊශ්‍රායලය ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර, ඇමෙරිකාවද ඉන් පසුව ඉරානයට ප්‍රහාර එල්ල කළේ ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ අභිලාෂ සුරක්ෂිත කරගැනීම සඳහා මෙම ප්‍රහාර එල්ල කළේ යැයි පැවැසුණු අතර මෙම ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලී හමෙනෙයි ඇතුළු ප්‍රධාන පෙළේ නායකයෝ විශාල පිරිසක් මරණයට පත්වූහ.
ඇමෙරිකාව ගත් මෙම පියවරට සහාය ලබාදෙන්නේ එරට වැසියන්ගෙන් හතරදෙනකුගෙන් එක් අයකු පමණක් යැයි ඉකුත් ඉරිදා (මාර්තු 1) අවසන් වූ මත විමසුමකින් අනාවරණය වී තිබේ.
රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සහ වෙළෙඳපොළ පර්යේෂණ ආයතනයක් වන ඉප්සොස් (Ipsos) ආයතනය එක්ව මෙම මත විමසුම පවත්වා තිබිණි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම යුද්ධයේදී හමුදා බලය භාවිත කිරීමට දැඩි කැමැත්තකින් (ඕනෑවටත් වඩා කැමැත්තකින්) පසුවන බව, රිපබ්ලිකන්වරුන් හතරදෙනකුගෙන් එක් අයකු, සහ මත විමසුමට සම්බන්ධ වූ අයගෙන් අඩක් විශ්වාස කරන බව ද මෙම මත විමසුමෙන් අනාවරණය වී තිබේ.

මත විමසුමට ප්‍රතිචාර දැක්වූ අයගෙන් සියයට 27ක් පමණ මෙම ප්‍රහාර අනුමත කර තිබූ අතර, සියයට 42ක අධික පිරිසක් මෙම ප්‍රහාර අනුමත නොකරති. සියයට 29කට අධික පිරිසකට තවමත් නිශ්චිත අදහසක් නොමැති බව ද මත විමසුමෙන් අනාවරණය වී තිබිණි.
සෙනසුරාදා (පෙබරවාරි 28) වැනිදා සිදු වූ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් දන්නේ ඉතාම ස්වල්ප තොරතුරු ප්‍රමාණයක් බව මත විමසුමට සම්බන්ධ වූ දසදෙනකුගෙන් නවදෙනකු පවසා ඇත.
ගෙවුණු මාසවලදී වෙනිසියුලාව, සිරියාව, සහ නයිජීරියාව වෙත ප්‍රහාර එල්ල කළ බැවින් ඇමෙරිකා එක්සත් ජනපද අභිලාෂ සහ අවශ්‍යතා සුරක්ෂිත කරගැනීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුදා බලය භාවිත කිරීමට දැඩි හැකියාවක් තිබෙන බව ( ඕනෑවටත් වඩා කැමැත්තකින් පසුවන බව) ඇමෙරිකා වැසියන්ගෙන් සියයට 56 දෙනකු විශ්වාස කරන බව ද මෙම මත විමසුමේදී අනාවරණය වී තිබේ.
ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් සියයට 87ක් හෙවත් අති බහුතරයක් මෙම මතය දරන අතර, රිපබ්ලිකයන් පාක්ෂිකයන්ගෙන් සියයට 23ක් මෙම අදහස විශ්වාස කරති. සියයට 60 අධික, ඉහත දේශපාලන පක්ෂ දෙකට සම්බන්ධ නැති පිරිසක් ද ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුදා බලය භාවිත කරනු ඇතැයි විශ්වාස කරති.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානයට ප්‍රහාර එල්ල කරන අතරවාරයේ දී මෙම මත විමසුම පවත්වා තිබූ අතර, මෙහෙයුම්වලින් ඇමෙරිකානුවන් මියගිය බව නිවේදනය කිරීමට ප්‍රථම මත විමසුම අවසන් කර තිබිණි.
මෙම ප්‍රහාර හේතුවෙන්, මැද පෙරදිග කලාපය කිසිදු ලෙසකින් පුරෝථකනය කළ නොහැකි ඉතාම අනපේක්ෂිත යුද්ධයකට මැදිව තිබෙන අතර සෙනසුරාදා සහ ඉරිදා ගැටුම්වලින්, ඇමෙරිකානු හමුදා සාමාජිකයන් තිදෙනකු මියගොස් පස්දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා විය.
මුලාශ්‍රය :
Just one in four Americans say they back US strikes on Iran, Reuters/Ipsos poll finds







