හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය Truth Social වෙත සටහනක් තබමිනි.
ඒ අනුව සිය සටහන තබන කාලයේ සිට පැය 48ක අනතුරු ඇඟවීමේ කාලය ආරම්භ වන බව ද එහි සඳහන් වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු 21 වන දින GMT 23:44ට මෙම සටහන පළ කළේය.
ඒ අනුව එනම් මාර්තු 23 වන දින GMT 23:44 දක්වා ඉරානයට සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවකාශය හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් ප්‍රතිචාර
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ පැය 48 ක අවසාන නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, ඉරානය ද දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, තම රටේ ඉන්ධන හෝ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් අමෙරිකාව කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඒ වෙනුවෙන් සමස්ත ගල්ෆ් කලාපය පුරා විසිරී ඇති අමෙරිකානු සබඳතා සහිත සියලුම බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විශාලතම බලාගාර විනාශ කරන බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුධමය තත්ත්වය සහ බලශක්ති අර්බුදය අතිශය තීරණාත්මක මට්ටමකට පැමිණ ඇති බව විදෙස් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
සිකුරාදා ඉරානයට ප්‍රහාර 640ක්
සිකුරාදා (20) දිනයේදී පමණක් ඉරානයේ පළාත් 17කට ප්‍රහාර 640ක් එල්ලවී ඇති බව අමෙරිකාව කේන්ද්‍රකරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සියක් පවසයි.
එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු මිය ගොස් ඇති බව එම ඒජන්සියේ ප්‍රකාශයක් උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිරිස ළමුන්, සිවිල් වැසියන් හෝ සොල්දාදුවන් යැයි ඔවුන් විසින් වර්ගීකරණයක් සිදු කර නොමැති බව ද සඳහන් ය.

මැදපෙරදිග යුද තත්ත්වය ආරම්භවී සති තුනක කාලයක් ගතවී ඇති පසුබිමක අවම වශයෙන් පුද්ගලයින් 1,398 දෙනෙකු මිය ගොස් තිබේ.
ඒ අතර දරුවන් 210 දෙනෙකු සිටින බව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සිය පෙන්වා දෙයි.
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන හමුද නිලධාරින් 1,165 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.
එමෙන්ම තවත් මරණ 657ක් වාර්තාවී ඇති අතර ඔවුන් සිවිල්වැසියන් ද එසේ නොමැති නම් හමුදා නිලධාරින් ද යන්න පැහැදිලිව දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
විදෙස් මුලාශ්‍ර :
'Open Hormuz Or Will Destroy Power Plants': Trump Warns Iran, Tehran Responds
Middle East war live: Trump sets 48-hour deadline for Iran to open Strait of Hormuz
Trump threatens attacks on Iran’s power plants if Strait of Hormuz isn’t reopened








