එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන සටන් විරාමය ඉක්ම යන්නට පැය කිහිපයක් තබා, එය දින නියමයක් රහිතව තව දුරටත් දීර්ඝ කළේය. වැඩිදුර සාම සාකච්ඡා පිණිස අවකාශ සැලසීම සිය අභිප්‍රායය බව ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත්, ඊට ඉරානයේ හෝ එක්සත් ජනපද හිතවාදී ඊශ්‍රායලයේ අනුකූලතාවය මෙතෙක් ප්‍රකාශව නැත.
සාම කතා බහ පිණිස, ඉරාන නායකයින්ට සහ එම නියෝජිතයින්ට ඒකීය යෝජනාවලියකට පිවිසීමට යම් කාලයක් අවශ්‍ය බව සහ එතෙක් ප්‍රහාර නවතන ලෙස එම ක්‍රියාවලියේ මැදහත් පාර්ශවය ලෙස කටයුතු කරන පාකිස්ථානය විසින් එක්සත් ජනපද ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ. ඒ අනුව, ඉදිරියේ අදාළ සාකච්ඡා පවත්වා අවසන් කිරීම අපේක්ෂාවය.

කෙසේ වෙතත්, දැන් පවත්නේ ඒක පාර්ශ්වීය සටන් විරාමයකි. ඉරාන වරාය වෙත පනවා ඇති තහනම සහ එරට සමුද්‍රීය වෙළඳාමට අදාළ සම්බාධක තව දුරටත් ක්‍රියාත්මක බව ජනපති ට්‍රම්ප් පවසයි. ඉරානය අවධාරණය කරන්නේ එම තත්ත්වය සිය දේශයට එරෙහි යුද ප්‍රකාශ කිරීමක් බවය.
ජනපති ට්‍රම්ප් ගේ නව නිවේදනය පිලිබඳ අද (22) උදෑසන වන විටත් ඉරානයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් නොවීය. ටෙහෙරානයට ඒ පිලිබඳ ඇත්තේ සැකයක් පමණි. සාම කතා බහට එක්වන්නේද, නැද්ද යන්න පිලිබඳ ඉරානය තවමත් අවසන් තීරණයක් ගෙන නැත.
ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින්, ඉරානය සටන් විරාම දිර්ඝනයක් ඉල්ලා නැතැයි ප්‍රකාශ කළේය. සන්නද්ධ බලය යොදා එක්සත් ජනපද තහනම බිඳ දමන බවට ද තර්ජනය කළේය. ට්‍රම්ප්ගේ නව ප්‍රකාශය කූට උගුලක් විය හැකි බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහම්මඩ් බඛෙර් ඛලිබෆ් කියා සිටියේය. ඔහු එම පාර්ශවයේ සාම සාකච්ඡා දූත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

මීට පෙර දෙසතියක ඉරාන සටන් විරාමය නිවේදනයට මත්තෙන් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, සමස්ත ශිෂ්ටාචාරයක් එදින රාත්‍රී, මෙලොවින් සදහටම තුරන් වීමට නියමිත බවය. එහෙත්, භීෂණ ක්‍රියා අවසන් කොට, වෙළඳපොල අස්ථාවරත්වය නිමා කරන බව ඔහු අන් තැනක පැවසීය. ඉරානයේ බලශක්ති මර්මස්ථාන සහ පාලම් සියල්ල පුපුරවා විනාශ කරන බවද වරක් ඔහු කීය.
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව පෙබරවාරි 28 දා ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළහ. එය සීග්‍රයෙන් අනෙකුත් ගල්ෆ් රටවලට ද ව්‍යාප්ත විය. මේ වන විටත් ඉරාන යුද්ධයෙන් දහස් සංඛ්‍යාත පිරිසකට දිවි අහිමිව ඇත. ගෝලීය ඉන්දන මිල අඛණ්ඩව අස්ථාවර උච්චාවචනයන්ට බන්දුන්වෙමින් ඇති අතර ලොව බහුතර රටවල උද්ධමනයද දෛනිකව වර්ධනය වෙමින් පවතී.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Trump declares Iran ceasefire extension with peace talks in doubt







