ඉරානය ඊයේ (22), හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගත්තේය.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඒකපාර්ශ්වික සටන් විරාමය ප්‍රකාශයට පත් කර දිනක අවෑමෙන් එම සමුද්‍ර සන්ධියේ බලය තව දුරටත් තහවුරු කරමින් ඉරාන හමුදා එම අත්අඩංගුවට ගැනීම සිදු කළහ. දෙරට අතර මීළඟ වටයේ සාම සාකච්ඡා ආරම්භය තව දුරටත් අවිනිශ්චිතව පවතී.
දෙමසක යුද්ධය නතර කිරීම පිණිස ඉරානයේ නව යෝජනාවලිය සමාලෝචනය කෙරෙන තෙක් සටන් විරාමය දින නියමයකින් තොරව දීර්ඝ කරන බව ජනපති ට්‍රම්ප් ඉකුත් අඟහරුවාදා (21) නිවේදනය කළේය. එහෙත්, එම සටන් විරාම දිගුවට අනුකූල වන බව ඉරානය මෙතෙක් දන්වා නැත.

එක්සත් ජනපද ජනපති විසින් ඉරාන සමුද්‍රීය වෙළඳාමට එරෙහිව පනවා ඇති සම්බාධක ඉරානයේ දැඩි විවේචනයට බඳුන් විය. එය යුද තර්ජනයක් බව ටෙහෙරානය චෝදනා කළේය. එම තහනම පවතින තාක් නිත්‍ය සටන්විරාමයක් නොවන බව එරට පාර්ලිමන්තු කථානායක මොහම්මඩ් බඛෙර් ඛලිබෆ් ද පැවසීය. එක්සත් ජනපද සම්බාධක හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම අසීරු බව ද ඔහු සඳහන් කළේය.

සන්නද්ධ තරවටුවෙන් හෝ බියපත් කිරීමෙන් අභිප්‍රේරිත ඉලක්ක සාක්ෂාත් කර ගත නොහැකි යැයි, ජනපති ට්‍රම්ප්ගේ නවතම නිවේදනයට ප්‍රතිචාර වශයෙන් හෙතෙම කියා සිටියේය. ඊට හොඳම පිළියම ඉරාන වැසියන්ගේ හිමිකම් හඳුනාගැනීම බව ද ඔහු අවධාරණය කළේය.
ඉරාන විප්ලවීය බලකාය විසින් අත්අඩංගුවට ගත් විදෙස් නෞකා දෙක එරට වරායක් වෙත රැගෙන යනු ලැබිණි. ඉකුත් පෙබරවාරි මස අග යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව, ඉරානය විසින් විදෙස් නෞකා අත්අඩංගුවට ගත පළමු අවස්ථාව මෙය වේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Iran tightens control of Hormuz after US calls off renewed attacks







