හෝර්මුස් තහනම නොතකා ඒ හරහා යාත්‍රා කරන නෞකා අත්අඩංගුවට ගැනීමට හෝ ඒ වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානය අධිවේගී ප්‍රහාරක යාත්‍රා මුළුවක් භාවිතා කරන්නේය.
ඉරාන විප්ලවීය බලකා භටයෝ ප්‍රමාණයෙන් කුඩා එම යාත්‍රා මත පැමිණ, මී මැසි පොදියක් සේ සතුරු නෞකා වටලා, ඒවා සිය භාරයට ගනිති. ඉරාන නාවුක හමුදා ශක්තිය මුළුමනින් අඩපණ කර ඇති බවට සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තර කෙරෙන බවට වූ එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඉරානයේ මෙම නවතම සංග්‍රාමික උපක්‍රම හමුවේ අභියෝගයට ලක්ව තිබේ.
ඒ හමුවේ, දැන්, ජනපති ට්‍රම්ප් කියන්නේ වෙනම කතාවකි. ඉරානයේ සාම්ප්‍රදායික නාවුක හමුදාව මේ වන විට, විශාල වශයෙන් විනාශ කර පැවතියද, ඔවුන් සතු ක්ෂණික ප්‍රහාරක බල ඝනය ඒ සා තර්ජනයක් වේ යැයි අවධානයට නොගත් බව ඔහු පවසයි. එම සමුද්‍ර සන්ධියට එපිටින් එක්සත් ජනපද සම්බාධක කලාපයේ ස්ථාන ගත කර ඇති යුද නෞකා වෙත ලඟා වන ඉරාන යාත්‍රා සියල්ල, ගුවන් ප්‍රහාර මගින් සහමුලින් වනසාලන බව ද හෙතෙම කියා සිටී. එය, හරියටම, කැරිබියන් සහ පැසිෆික් සාගරයේ තහනම් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදුණු කුඩා යාත්‍රා වැනසූ අන්දමට සමාන ක්‍රියාන්විතයක් බව ද ඔහු කියයි.
ඉරාන අධිවේගී ක්ෂණික ප්‍රහාරක නාවුක බල ඝනය විසින් හෝ ර් මු ස් හරහා යාත්‍රා කරන වෙළඳ නෞකා වෙත එසැණ ප්‍රහාර එල්ල නොකරනමුත්, එම හමුදා භටයෝ මැෂින් තුවක්කු, රොකට් විදින සහ ඇතැම් අවස්ථාවන්හි, නෞකා නාශක මිසයිලයන්ගෙන් ද සන්නධව සිටිති.
මෙම අධිවේගී ප්‍රහාරක යාත්‍රා බල ඝනය, එක්සත් ජනපද හමුදාවන්ට එම සාගර කලාපයේ මුහුණදීමට සිදුව ඇති නවතම ත ර් ජ න ය යි. යුද්ධයට පෙර සිටම ඉරානය සතුව එවැනි අධිවේගී යාත්‍රා සිය දහස් ගණනක් පැවති බවට දැන් දැන් කරුණු අනාවරණය වෙමින් පවතී. ඒවා වෙරළාසන්න උමං තුළ, නාවුක කඳවුරු හෝ සිවිල් යාත්‍රා අතර සඟවා තිබූ බවට ද සැක කෙරේ.
කෙසේ වෙතත්, එවැනි යාත්‍රා සිය ගණනක් දැනටමත් එක්සත් ජනපද හමුදා ප්‍රහාර මගින් විනාශ කර ඇත.
ඉරානයේ අසමමිතික යුදෝපක්‍රමය

මෙම සතියට පෙර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවට තහනම නොතකන නෞකා සම්බන්ධයෙන් ඉරානය විශ්වාසය තබා සිටියේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මත ය. අප්‍රේල් 8 දා සටන්විරාම ආරම්භයෙන් අනතුරුව එම ප්‍රහාර නැවතිණ. යුද්ධයේ ප්‍රථම වරට ඉරානය විසින් විදෙස් වෙළඳ නෞකා දෙකක් සිය භාරයට ගැනුණේ, එරට සමුද්‍රීය වෙළඳාමට එරෙහි එක්සත් ජනපද තහනම සහ එම හමුදා විසින් ඉරානයට සම්බන්ධ වෙළඳ සහ ඉන්දන නෞකා අත්අඩංගුවට ගැනීම හෝ ඒවා පලවා හැරීම ආරම්භ වීමෙන් අනතුරුව ය.
ඉරාන අධිවේගී ප්‍රහාරක යාත්‍රා බල ඝනය දැන් එහි නාවුක සම්බාධක ක්‍රියාන්විතයේ සාර්ථක අංගයකි. එම යාත්‍රා ක්ෂණිකව විහිද ගොස් පහර දීමෙහි සමත්යහ. එය සතුරාට එරෙහි අසමමිතික යුදෝපක්‍රමයකි. එම යාත්‍රා සතු අධි වේගය හේතුවෙන් ඒවාට සතුරු නිරීක්ෂණයෙන් ගැලවී, එම ඉලක්ක වෙත සැණින් පහර දී එසැණින් පලා යාමේ හැකියාව පවතී.
අධිවේගී යාත්‍රා බල ඝනයේ දොස්
2019 වසරේ සිට නොබෝදා සිදු කළ විදෙස් වෙළඳ නෞකා දෙක අත්අඩංගුවට ගැනීම තෙක් ඉරානය විසින් අවම වශයෙන් කුඩා අධිවේගී යාත්‍රා මෙහෙයුම් හතක්වත් සිදුකර තිබේ.
කෙසේ වෙතත්, එම මෙහෙයුම් කෙරෙහි බලපවත්නා සීමා ද නැත්තේ නොවේ. ග්‍රීස්ම සෘතුවේ, ඉරාන සාගර කලාපයේ පවතින අධික සුළං ප්‍රවාහ සේම රළ ගැස්ම හා උස් රළ අතර එම කුඩා යාත්‍රා කිසිසේත් මෙහෙයවිය නොහැක්කේය. එවිට හට ගන්නා තද ගැස්ම හේතුවෙන් යාත්‍රා මත සිට ඉලක්කය ගැනීම අපහසු වේ.
එමෙන්ම, මෙම යාත්‍රා සතුව විශාල යුද නැව් සමග මුහුණට මුහුණ ගැටීමේ හැකියාවක් හෝ ඊට සුදුසු අවි නොමැත. එබැවින්, එවැනි ප්‍රහාරයකදී, එහි සිටින භටයින් සමග සහමුලින් වැනසී යාමේ දැඩි අවදානමෙන් යුක්ත ය.
එම කුඩා යාත්‍රා මගින් මී මැසි පොදියක් සේ සතුරු නෞකාවක් වටකර පහර දුන්නද, ඒ සියල්ල ගුවන් ප්‍රහාර මගින් සාර්ථකව මැඩ පැවැත්විය හැක.
කෙසේ වෙතත්, ඉරානය සතු සුවිසල් යුද නෞකා විනාශ කළා මෙන්, මෙම කුඩා අධිවේගී ප්‍රහාරක යාත්‍රා බල ඝනය වැනසීම සිතු සේ පහසු ද නොවන්නේය. ඒ හේතුවෙන්ම, හෝ ර් මු ස් සමුද්‍ර සන්ධිය අවට සිවිල් නෞකා ගමනාගමනයට තවත් බාධාවක් එකතුවන අතර, එම නෞකා මත රක්ෂණ අධිභාරය තව දුරටත් ඉහළ යන්නේය.
"එක්සත් ජනපද නාවුක හමුදාව සහ ජනපති කියනවා, ඒ අය, (ඉරාන) නාවුක හමුදාව විනාශ කළා, ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ යුද නැවක් ගිල්වා දැමුවා කියලා. ඔව්, මීට පෙර ඒ වගේ දේවල් කළා තමයි. හැබැයි, එතෙන්දි ඒ අය අමතක කළ දේ තමා, විරුද්ධවාදියා ඒ මොහොතේ අසමමිතික යුද්ධයකට ගිය බව, ඒ වගේම දැන් ඔවුන් එහි කෙළ පැමිණ ඇති වග," යු නි ව ර් ස ල් ඩිෆෙන්ස් ඇන්ඩ් සෙකියුරිටි සොලියුෂන්ස් (Universal Defence and Security Solutions) උපදේශන සමාගමේ අධ්‍යක්ෂවරයකු සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවුක හමුදාවේ හිටපු උප අද්මිරාල් වරයකු වන ඩන්කන් පෝට්ස් (Duncan Potts) පවසයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Iran fast-boat swarms add to Hormuz threats for shipping







