මියෙන්මාර ජනපති, මින් ඔඞ් ලයිඞ් (Min Aung Hlaing), එරට නාගරික කලාප 60ක් වෙත නව හදිසි නීතිය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදා පාලනය පැනවීමට අද (24)නියෝග කළේය.
ඔහු මීට පෙර මියෙන්මාර ජුන්ටා නායකයා ලෙස කටයුතු කළේය. සිවිල් පාලනය වෙත හුවමාරුවන සංක්‍රාන්ති සමයේ රට පුරා ප්‍රදේශ රැසක ගැටුම් නිරාකරණය කර ආරක්ෂාව තර කිරීමේ අරමුණින් එම පියවර ගත් බව රජය කියයි.
ඒ අනුව, කචින්, කායා, කායින්, චින්, ශාන් හා රඛීන් ප්‍රාන්ත මෙන්ම, සාගිඞ්, මැග්වේ සහ මැන්ඩලේ කලාපයන්හි නාගරික 60ක් වෙත හදිසි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ. ඒ සමග එම ප්‍රදේශ සියල්ල හමුදා පාලනයට නතු කෙරේ. 2021 වසරේ සිදු කළ කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු ද එම සියලු ප්‍රදේශයන්හි හමුදා බලය තර කර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරිණි.

සන්නද්ධ ත්‍රස්තවාදය අවසන් කර නීතිය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මත නව පියවර ගන්නා බව, රජය විසින් ඒ පිලිබඳ අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. නව හදිසි නීතිය දින 90ක් තෙක් බලාත්මක ය. එම කාලය තුළ යටකී කලාපයන් හි සියලු විධායක සහ අධිකාරී බලය එරට නව හමුදා ප්‍රධානී යේ වින් ඕ (Ye Win Oo) වෙත පැවරේ.
පසු ගිය මැතිවරණයෙන්, මෙම මස මුල එරට නව ජනපති ලෙස බලයට පත්වීමෙන් අනතුරුව පාලන බලය තහවුරු කර ගැනීම පිණිස ජනපති මින් ඔඞ් ලයිඞ් විසින් ගත් ප්‍රථම දැඩි පියවර මෙය වේ. හමුදා සහාය හිමි ඔහුගේ පක්ෂය මෙවර මැතිවරණය ජය ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.
මහජන චන්දයෙන් තේරී පත් වූ නොබෙල් ත්‍යාග ලාභී අවුඞ් සාන් සූ කී (Aung San Suu Kyi), හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කිරීමත් සමග, 2021 වසරේ මියෙන්මාරයේ යළි ගැටුම් හට ගත්තේය. පසුව, එම ගැටුම්, දීපව්‍යාප්ත සන්නද්ධ අරගලයක් බවට පත් විය. එතැන් සිට, වරින්වර පැවති දරුණු ගැටුම් මධ්‍යයේ පසුගිය දෙසැම්බර සහ මෙම ජනවාරි මස එරට මැතිවරණය පැවැත්වීමට කටයුතු කෙරිණි. එය කිසි සේත් නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් නොවූ බව දේශපාලන විචාරකයෝ පවසති.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Myanmar's military-backed government imposes martial law in 60 townships







