වසර කිහිපයකට පසු, ඊයේ (25) එක්සත් ඡනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වූ ධවල මන්දිර වාර්ෂික මාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණ.
වහා ක්‍රියාත්මක වූ ජනපති ආරක්ෂකයෝ, ඔහු සහ ජනපති ආර්යාව ඇතුළු ප්‍රභූ පිරිස නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට සමත් ව ඇත.
එරට මාධ්‍යායතන හා සිය පරිපාලනය අතර ඇති කරගත් මත ගැටුම් හේතුවෙන් ජනපතිවරයා සිය ධුර වාර දෙකෙහිදීම වසර කිහිපයක් දිගින් දිගටම වොෂින්ටන් හිල්ටන් හි පැවති එම මාධ්‍ය නියෝජිත වාර්ෂික රාත්‍රී භෝජනය වර්ජනය කළේය. මෙවර ඔහු ඊට සහභාගි වූයේ දිගු කලකට පසුවය.
ශිෂ්‍යත්ව අරමුදල් ප්‍රවර්ධනය සහ මාධ්‍ය නිදහස ඉලක්ක කර එම උත්කර්ෂවත් අවස්ථාව එරට වාර්ෂිකව පැවැත්වෙන්නකි.
වොෂින්ටන් හි 'වොෂින්ටන් හිල්ටන්' හෝටලයේ පැවැත්වෙමින් තිබූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬක් යැයි සැක කළ හැකි ප්‍රබල ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට රහස් ඔත්තු සේවා නිලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෙනසුරාදා සන්ධ්‍යාවේ සිදුවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භෝජනාගාරය තුළින් "මහා හඬක්" හෝ වෙඩි හඬක් යැයි සැක කළ හැකි ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ජනාධිපතිවරයා සහ අමුත්තන් බිම වැතිර ආරක්ෂාව සෙවීමට උත්සාහ කර ඇති බවත්, එහිදී වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ජනාධිපතිවරයාව සහ මෙලනියා ට්‍රම්ප්ව ප්‍රධාන අසුන් පැනවූ මේසයෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවත් ය.
එමෙන්ම, ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් පසු, නවීන ගිනි අවිවලින් සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපතිවරයා අසුන්ගෙන සිටි ප්‍රධාන මේසය අවට ප්‍රදේශයේ පාලනය නතු කරගෙන දැඩි ආරක්ෂක වළල්ලක් යොදවා තිබේ.
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපතිනි වෙයිජියා ජියැං (Weijia Jiang) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම රාත්‍රී භෝජන සංග්‍රහය අවලංගු කර නැවත දින 30ක් ඇතුළත පවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.
මෙම ශබ්දය කුමක්ද යන්න හෝ කිසිවෙකුට හානියක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය වෙඩි තැබීමක් විය හැකි බවට සැක පවතින බවයි.
කෙසේවුවද මෙම සිද්ධියෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර තිබේ.
සිද්ධියේ පසු ජනාධිපති ට්‍රම්ප් සහ ආර්යාව වොෂින්ටන් හිල්ටන් හෝටලයෙන් ආරක්ෂිතව පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ට්‍රම්ප්ගේ ආරක්ෂක කණ්ඩායම සැකකාර තුවක්කුකරු උත්සව ශාලාවෙන් පිටතදී අත්අඩංගුවට ගත් බවත් කිසි විටෙකත් ඔහු උත්සවයට ඇතුළු නොවූ බවත් ධවල මන්දිර වාර්තාකරු සංගමයේ මණ්ඩල සාමාජිකා කෝට්නි සුබ්‍රමනියන් පවසයි.
වෙඩි තැබීමට පැමිණි ප්‍රහාරකයා ගිනි අවි ඇතුළු ආයුධ සහ පිහි කිහිපයකින් සන්නද්ධව සිටි බව වාර්තා වේ.
වෙඩි තැබීම පිලිබඳ විමර්ශන ක්‍රියාත්මකය.
(සටහන; Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2026.04.26
මුලාශ්‍ර :
Suspect in custody after Trump evacuated in shooting incident at White House correspondents’ dinner
Suspect ‘armed with knives and guns’ charged after shooting at White House correspondents’ dinner - follow live
Trump Evacuated As Shots Fired At White House Dinner, Shooter Arrested







