ඉරානයට, දෙමසක් පමණ ඉකුත්ව ඇති යුද්ධය සත්‍ය වශයෙන්ම අවසන් කිරීමට අවශ්‍ය නම්, නොවලහා දුරකතනයෙන් විමසන ලෙස එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) දැනුම් දුන්නේය.
ජනපතිවරයා ඒ බව දන්වා සිටියේ, ඔහු ද සහභාගී වූ, සෙනසුරාදා (25) රාත්‍රී වොෂින්ටනයේ පැවති උත්කර්ශවත් ජනමාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුවය. න්‍යෂ්ටික අවියක් සතු කර ගැනීමේ අයිතිය කිසිදා ඉරානයට හිමි නොවන බව ද හෙතෙම අවධාරණය කළේය. සාකච්ඡා පිණිස ඉදිරිපත්වීමට ප්‍රථම ඉරාන වරාය වෙත පනවා ඇති තහනම ඇතුළු එක්සත් ජනපද සම්බාධක ඉවත් කළ යුතු බව ටෙහෙරානය විසින් දැනුම් දී තිබේ.
සෙනසුරාදා සිද්ධියෙන් පසුව ජනපති ට්‍රම්ප්, ඉරාන සාම සාකච්ඡා පිණිස නියමිතව පැවති සිය නියෝජිතයින් වූ ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් ගේ ඉස්ලාමාබාද් සංචාරය ද අවලංගු කළේය. මේ අතර පාකිස්ථාන සහ ඕමාන මැදහත් පාර්ශ්ව මධ්‍යයේ අතරමං වූ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි ඊයේ (26), රුසියාව බලා පිටත් විය. එහිදී ඔහු, ජනපති ව්ලැඩිමීර් පුටින් හමු වීමට නියමිතය.
නවතම තත්ත්වය හමුවේ ගෝලීය ඉන්දන මිල යළි ඉහළ ගියේය. ගල්ෆ් තීරයේ නෞකා තහනම සහ සාම කතා බහ පිලිබඳ අවිනිශ්චිත බව හමුවේ අද (27), ආසියානු කොටස් වෙළඳපොළ එක්සත් ජනපද කොටස් මිල දර්ශක ද පහත වැටී තිබිණි.
"ඒ අයට කතා කරන්නම ඕනෙ නම්, අප වෙත එන්න කියන්න. නැත්තං, ඔය තියෙන්නෙ ලස්සන ටෙලිෆෝන් එකක්, බය නැතුව අපට කතා කරන්න කියන්න. ඒක හරි ආරක්ෂාකාරී ලයින් එකක්," ජනපති ට්‍රම්ප් ඊයේ ෆොක්ස් නිව්ස් ( Fox News) සමග පැවති සාකච්ඡාවකදී පැවසීය. " ඒ අය හොඳටම දන්නවා ගිවිසුමේ තියෙන්න ඕනෙ මොනවද කියල. ඒක හරිම සරලයි; ඔවුන් සතුව න්‍යෂ්ටික අවියක් පවතින්න බෑ. එහෙම බැරි නම් ඉතිං, අපි මුණගැහෙන්න අවශ්‍යත් නෑ," ඔහු අවධාරණය කළේය.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර යුද්ධය ඉක්මනින් අවසන් කිරීම පිණිස වූ නවතම යෝජනාවක් ඉරානය විසින් පාකිස්ථානය අත එක්සත් ජනපදය වෙත යැවූ බව ද සැල විය. න්‍යෂ්ටික කතා බහ පසු අදියරක සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද එහි සඳහන් වෙතැයි වා ර් තා වේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Trump says Iran can phone if it wants to talk; Iranian minister heads to Russia







