ශ්‍රී ලංකාව ඇතුළෙ කාලෙන් කාලයට නිර්මාණය වෙන රැලි කියන්නේ ඒ තරම් අලුත් දෙයක් නෙමෙයි. 

රටේ රාජ්‍ය යාන්ත්‍රණය ගත්තම එය රැලිම විතරක් නගන මුහුදක ඇඳෙන නෞකාවක් වගේ. ඒ ඒ කාල වලට රාජ්‍ය යාන්ත්‍රණයට බලපෑම් කළ හැකි රැලි දිගින් දිගටම නිර්මාණය වෙනවා වගේම ඒවායේ බලපෑමට මුහුණ දෙන්න මේ නෞකාවට සිද්ද වෙනවා. මේ මොහොතේ වැටුප් අලලා සිද්ද කෙරෙමින් තිබෙන වැඩ වර්ජන රැල්ලත් එයින් එකක්.

 

sagala2

 

සාමාන්‍යයෙන් රටක වැටුප් වැඩි වීමක් සිදුවෙනවා නම් රටම තනි ඒකකයක් විදිහට සලකළා වැඩකරන සියලු පුරවැසියන්ගේ වැටුප් තලවල සාධාරණ ඉහළ යෑමක් වෙන එක ගැටළුවක් නැහැ. මොකද රටක උද්ධමනය වැනි සාධක හැමෝටම සමානව බලපාන නිසා. ඒත් බොහෝ වෙලාවට මේ වැටුප් වැඩි වීම් සිදුවන්නේ එහෙම නොවෙයි. එහි සාධාරණ ක්‍රියාපටිපාටියක් දැකීම අපහසුයි. රාජ්‍ය අංශයට ගත්තොත් එක විදිහක්.  පෞද්ගලික අංශයේ තව විදිහක්. ඒවගේම රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල හැමෝටම එක හැන්දෙන් බෙදන්නෙත් නැහැ. මේ නිසා වැටුප් තලවල විෂමතා වැඩි වෙලා, වෘත්තීය ගැටළු රැසක් පැන නැඟිලා තියෙනවා.

 

 

8be738b09aaff1d09ffd231078fc6ac7eb1e0636වැටුප් අලලා සිද්ද කෙරෙමින් තිබෙන වැඩ වර්ජන රැල්ල


 ලංකාව ගත්තොත් සෑහෙන කාලෙක ඉඳල මේ විෂමතා තියෙනවා. ඒත් ඒවා මේ වන විට නිවැරදි කරගන්න බැරිතරම් අවුල් සහගතයි. එක අංශයක වැරැද්ද නිවැරදි කරන්න ගියොත් තවත් අංශ ගණනාවක ප්‍රශ්න ඇති වෙනවා. හැමෝටම සාධාරණ විසඳුමක් දෙන එක ලෙහෙසි නැහැ.


බොහෝ වෙලාවට රාජ්‍ය අංශය වැටුප් වැඩි කරගැනීමේ වරප්‍රසාදයක් විදිහට වැඩ වර්ජන කියන අවිය පාවිච්චි කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම විදුලි, බලශක්ති, ප්‍රවාහන, වරාය වගේ ආර්ථික මර්මස්ථාන, මහජන උපයෝගිතාවන්ට සම්බන්ධ ආයතන වල මේ වර්ජනයන් ගොඩක් සුලබයි. මේ හරහා දුෂ්කරතාවයන්ට මුහුණ පාන්නේ රටේ පොදු මහජනතාවයි. මේ නිසා රට පාලනය කළ හැම රජයකටම වගේ සිදුවෙලා තියෙනවා මේ ඉල්ලීම් වලට තාවකාලික විසදුම් හෝ දෙන්න. නමුත් ප්‍රශ්න ඉවරයක් වෙන්නේ නැහැ. අද වැටුප් විෂමතාවය හැම ක්ෂේත්‍රයකම උග්‍ර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ප්‍රතිපත්තියක්, ක්‍රමවේදයක් අනුව වැඩ නොකර දේශපාලනික වුවමනාවන් මත ප්‍රශ්න විසඳන්න යෑම නිසයි. ඒකෙන් සිදුවෙන අවුල් ජාලයම අද පක්ෂ දේශපාලන වුවමනාවන් වෙනුවෙනුත් පාවිච්චි කිරීම වෙනවා. බොහොමයක් වෘත්තීය සමිති කියන්නේ දේශපාලන පක්ෂ වලට අයිති සංවිධාන. මේ වෘත්තිය සමිති නායකයනුත් බොහොමයක් ඒ ඒ පක්ෂ වල ක්‍රියාකාරිකයන්. මේ අයගේ වෘත්තීය සටන්, වෘත්තීය සීමාවෙන් ඔබ්බට ගිහින් පක්ෂ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පාවිච්චි වීමත් වෙන නිසා දැන් නිරන්තරයෙන් වැඩ වර්ජන කිරීමත් පුරුද්දක් වෙලා. ඇත්තටම මේ ප්‍රශ්න විසඳන්න දෙන්නේ නැති තත්වයකුත් තියෙනවා කිව්වට වැරදි නැහැ.

 

image ba06480606උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම කියන එකත් දේශපාලනික ප්‍රශ්නයක් විසඳා ගැනීමක් විදිහටයි වෙන්නේ

ඒ වගේම ලංකාවේ රාජ්‍ය අංශය අනෙක් රටවලට සාපේක්ෂව විශාල එකක්. එය නඩත්තු කිරීම ඒ නිසාම දුෂ්කර වෙලා තිබෙනවා. 1994 වගේ කාලයක රාජ්‍ය අංශයේ හිටියේ ලක්ෂ 7 ක් වගේ. ඒත් දැන් ඒ වගේ දෙගුණයක්. මේ වර්ධනය රාජ්‍ය අංශයේ කටයුතු දෙගුණයකින් විශාල වීම නිසා ඇති වෙච්ච තත්වයක් නෙවෙයි. විෂම තත්වයක්. වර්තමාන ආර්ථික ක්‍රමවේදයන් අනුව රාජ්‍ය අංශය කුඩා වීම විය යුතුව තිබෙන්නක්. නමුත් දේශපාලනික මැදිහත් වීම් නිසා අඛණ්ඩව රාජ්‍ය අංශය විශාල වීම සිදුවෙලා තියෙනවා. දැන් උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම කියන එකත් දේශපාලනික ප්‍රශ්නයක් විසඳා ගැනීමක් විදිහටයි වෙන්නේ. මේවා රජයට නිශ්චිත වුවමනාවක් නැතිව කරන බඳවාගැනීම්. මේ බොහෝ අයට නිශ්චිත රාජකාරියක් නැහැ. නමුත් රාජ්‍ය ආදායම් වලින් සියළු වැටුප් දීමනා ගෙවනවා.  

pensionවිශ්‍රාම වැටුප රාජ්‍ය බදු ආදායමෙන් ගෙවීමේ වැරදි ක්‍රමයක් රටේ දැන් තියෙන්නේ. දැන් බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් ක්‍රම

අද රජයට, බදු ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් කරන්නේ රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා වෙනුවෙන්. මේ නිසා සංවර්ධන, සුබසාධන කටයුතු වලට යොදවන්න මුදල් සීමාවීමත් වෙලා තියෙනවා. විශ්‍රාම වැටුප් ගෙවීම ගැන බැලුවත් විශාල වියදමක්  රට දරනවා. මේ වෙන කොට විශ්‍රාමිකයනුත් ලක්ෂ 7 කට ආසන්නයි. විශ්‍රාම වැටුප රාජ්‍ය බදු ආදායමෙන් ගෙවීමේ වැරදි ක්‍රමයක් රටේ දැන් තියෙන්නේ. දැන් බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් ක්‍රම. ඒකෙන් රජයට අමතර පීඩනයක් නැහැ. මේ නිසා රටට ගැලපෙන, රටට බරක් නොවන ක්‍රමයක අවශ්‍යතාවය හඳුනාගෙන අප එය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.



කොහොම වුණත් රාජ්‍ය සේවකයාත්, විශ්‍රාමිකයාත් වැඩි වැටුප් දීමනා ඉල්ලමින් විරෝධතා වැඩවර්ජනය කිරීමත් අසාධාරණ නැහැ. රටේ තිබෙන ආර්ථික පීඩනයන් නිසා මෙහෙම ඉල්ලීම් නොඑනවා නම් තමයි පුදුම වෙන්න ඕන. ඒත් විශේෂයෙන්ම මේ වගේ කාලයක  රජයට මේ ඉල්ලීම් ලබාදීම අතිශය දුෂ්කරයි. මොකද රජයේ ආදායම් සීමා සහිතයි. ආදායම් වැඩි කරන්න නම් බදු ආදායම් වැඩි කරගන්න ඕන. ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒත් 2016 වසරේදි වැටුප් වැඩි වීමක් කළාට පස්සේ නැවත වත්මන් රජය මෑතක සියළු රාජ්‍ය සේවකයන්ට රු 10,000 ක් දීමනාවක් කෙසේ හෝ ලබා දුන්නේ රටේ ආර්ථික අර්බුද නිසා රාජ්‍ය සේවකයාත් පීඩනයකට ලක්වෙලා සිටි නිසා. නමුත් එතැනින් එහාට දැන්ම යන්න බැහැ.  

 

images 19වත්මන් රජය මෑතක සියළු රාජ්‍ය සේවකයන්ට රු 10,000 ක් දීමනාවක් කෙසේ හෝ ලබා දුන්නේ රටේ ආර්ථික අර්බුද නිසා රාජ්‍ය සේවකයාත් පීඩනයකට ලක්වෙලා සිටි නිසා.

මොකද වැටුප් විෂමතා, රටේ ආර්ථික තත්වය සහ රාජ්‍ය සේවයේ විශාලත්වය වගේ අර්බුද කිහිපයක් රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් තියෙනවා. මේ ගැටළු විසඳගන්නේ නැතුව ඉස්සරහට යන්න බැහැ. බරපතලම බාධකය වැටුප් විෂමතාවයයි.  1946 ඉඳලාම වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටළු විසඳන්න විවිධ අධිකාරීන්, කොමිසම් සභා, කමිටු ආදිය 30 කට වැඩි ප්‍රමාණයක් පිහිටුවලා නිර්දේශ රැසක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ එකක්වත් සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා නැහැ. සමහරක් සේවක විරෝධතා වැඩවර්ජන නිසා මුළුමනින්ම බැහැර කරලා, තවත් සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රශ්නය උග්‍ර කරලත් තියෙන්නේ.

මේ අවුල ඒ ඒ ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි, රටේ තවත් ක්ෂේත්‍ර ගනනාවකට බලපාන්න පුළුවන්. රටකට විදේශ ආයෝජකයන් එනකොට බලන එක දර්ශකයක් තමයි වැඩවර්ජන දර්ශකය. වැඩවර්ජන නිසා දිනකට මිනිස් පැය කොච්චර ප්‍රමාණයක් මේ රටේ අහිමි වෙනවද බලනවා. කර්මාන්ත, ව්‍යාපාර වලට වෙන බලපෑම බලනවා. වර්ජන නැති එක මාසයක්වත් මේ රටේ නැති තරම්. සංචාරක ව්‍යාපාරයට පවා මේක බලපානවා. ඒ වගේම මේ ඉල්ලීම් නිවැරදි ප්‍රතිපත්තියක් නැතිව දෙන්න ගියාම ඒකත් සමස්ත ආර්ථිකයටම නරක විදිහට බලපානවා.

 

 



ඉතිං, වැටුප් විෂමතා ප්‍රශ්නය දැන් තියෙන්නේ ජාතික ප්‍රශ්නයක් විදිහට සලකලා විසඳන්න ඕන තැනක. ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව විසැඳීමට විශේෂඥ කමිටුවක් මෑතකදී පත් කළේ විසඳුමක් හොයන්න. දැනට තියෙන ප්‍රශ්න වලට නිශ්චිත දිගුකාලීන විසදුමක් දැන් අවශ්‍යයි. ඒ වගේම වැටුප් හෝ දීමනා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක්, ක්‍රමවේදයක් අවශ්‍යයි. රට සංවර්ධනය වෙන්න ඕන කියන වුවමනාව අපි හැමෝටම තියෙනවා. ඒ නිසා නිවැරදි ක්‍රමයට මේක විසඳගන්න අපි සහය දිය යුතුයි. ඉදිරියේ දී මොන ආණ්ඩුවක් බලයට ආවත් මේ ගැටළුවට මුහුණ දෙන්න වෙනවා. මඟ හැරලා, තාවකාලික විසදුම් දීලා තවත් ඉදිරියට යන්න බැහැ. ඒ නිසා මේක දැන් වෙනස් කරන්න ඕන. ඒ වෙනුවෙන් සෑම පාර්ශවයක්ම නිසි අවබෝධයකින් එක් වී වැඩ කළ යුතුයි. මේ වැඩ වර්ජන තත්වය සෑම වසරකම රැල්ලක් ලෙස ක්‍රියාත්මක වීම් වැළක්විය හැක්කේ එවැනි රටට සහ ජනතාවට යහපත්, එක්සත් විසදුමක් හරහා පමණයි.

  

 සාගල රත්නායක

එජාප ජාතික සංවිධායක
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි 

[උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප ]

 

සබැදි ලිපි

ආපදාවට පෙරසූදානම - ( සාගල රත්නායක)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්