සීගිරියේ විදෙස් සංචාරකයින් වෙනුවෙන් නිකුත් කළා කියන මතභේදාත්මක ටිකට් එක ගැන
සටහන් කිහිපයක් ම දැක්ක. මට අනුව රුපියල් නවදාස් අටසීයක් (ආසන්න වශයෙන් කෙළින්ම ගෙඩි රුපියල් දහදාහක්) කවුරුන් හෝ මනුස්සයෙක්ගෙන් ගන්නවා කියන්නේ පට්ටම අසාධාරණයි.
සීගිරිය යුනෙස්කෝ භූමි භාගයක් (UNESCO accredited World Heritage Site). යුනෙස්කෝ සංවිධානයෙන් එහෙම සහතිකයක් ලැබුනම ඒ භූමිභාගයේ වටිනාකම ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ ඒකට අන්තර්ජාතික පිළිගැනීමක් ලැබෙනවා කියන එක. ඒ අන්තර්ජාතික පිළිගැනීම ඇතුලේ තියෙන්නේ ඒක ලෝකයේ හැම මනුස්සයෙක්ගේම උරුමයක් කියන එක.
යුනෙස්කෝ සහතිකයේ වැදගත්කම තමයි ඒ භූමිය අපේ දේශීය උරුමයෙන් ඔබ්බට ගිහිල්ල ගෝලීය වෙනවා කියන එක. ඒ කියන්නේ මෙළොව, මේ පෘතුවි තලයේ උපන් හැම මනුස්සයෙකුටම අයිති භූමිභාගයක් වෙනවා කියන එක. ඒ නිසා සීගිරිය අපේ රටේ තියන බව ඇත්ත. අපේ කාශ්‍යප හැදුව එකත් ඇත්ත. අපි ඒක බලා කියා ගන්න එකත් ඇත්ත.
හැබැයි යුනෙස්කෝ නම් ගෝලීය සහතිකය ගොඩක් බලපානවා ඒකට සංචාරකයෝ ආකර්ෂණය කරගන්න එකට. ඔවුන් ඒ සහතිකය දෙන්නේ මේ ලෝක ගෝලයේ කොතැනක හෝ ඇති අද්විතීය බිම්කඩක් අද දවසේ වගේම හෙට දවසේත් ලෝක පුරවැසිබවේ සුවිශේෂ සංකේතයක් ලෙස සලකලා. ඒ කියන්නේ රුපියල් සීයක් දීල බලන අපිට වගේම මේ බිම්කඩ ලෝකයේ කුමන හෝ ජාතියකටත් එක විදියටම මේ මොහොතේත් හෙට දවසෙත් අයිතියි කියන එක. ඒ නිසා තමයි අපිට ඕනි ඕනි දේවල් මේ බිම් කඩ ඇතුලේ කරන්න බැරි.
ඇත්තටම ගත්තොත් සීගිරියට ඇතුල් වෙනකොට අපි ඔක්කොම එක සමානයි.
ජපානයේ කොරෝනා වලට පස්සේ උනත් එයාලගේ යුනෙස්කෝ බිම්කඩවල ටිකට් වල මිළ ඒ විදියටම වගේ තවමත් තියාන ඉන්නවා. ඕනිනම් කියන්න පුළුවන් අපි ආර්ථික වශයෙන් වෙනස් කියලත්.
අපේ වැරදි නිසා අපි හිඟා නොකා හිඟා කන එක ඇත්ත. හැබැයි අපිට කොච්චර අමාරු උනත් ඒ අමාරු වෙලාවෙත් අපි සාධාරණ වෙමු. බුදුන් පවා වදාල විදියට සාධාරණ වෙළඳාමක් කරමු.
එයාලට අපි ටිකට් එකක් දෙමු. දඩ කොළයක් නොදී ඉම්මු. මොකද එයාල අපිට වරදක් කරලා නැහැනේ.
සංචාරක කළමනාකරණ සහ අධ්‍යයනවල ඉන්න අය සද්ද නැති නිසා තමයි මේක ලිව්වේ.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)