2024 යුරෝපීය පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට යුක්රේන් පාපන්දු කණ්ඩායම සමත් වුනේ රුසියාව සමග තිබෙන යුද්ධයෙන් පීඩා
විඳින යුක්රේන් ජනතාව එයින් ප්‍රතිකර්ෂණය කරන හොඳ ප්‍රවෘත්තියක් ඔවුන්ට ලබා දෙමින්.
දෙවසරකට වැඩි කාලයක් තිස්සේ රුසියානු යුද ආක්‍රමණයට ලක්ව සිටින රටක ජනතාවට කලාතුරකින් ප්‍රීති වීමේ මොහොතක් යුක්රේන් ජාතික පිරිමි පාපන්දු කණ්ඩායම විසින් ලබා දුන්නේ අයිස්ලන්තය පරදවා ‘යුරෝ කුසලාන’ පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමෙන්. මේ ජයග්‍රහණය වඩාත් වර්ණවත් වුනේ යුක්රේනුවන් තරගයේ පිටුපස සිට නැවත නැගිටිමින් අයිස්ලන්තය පරාජය කිරීම නිසා.
මේ ජයග්‍රහණයේ සැමරුම යුක්රේනයට වැසි වැටෙන්නාක් මෙන් පතිත වන රුසියානු මිසයිලවලින් නිහඬ කෙරුන ද ‘යුරෝ’ තරගාවලිය ජූනි මාසයේ ජර්මනියේ ආරම්භ වෙද්දී ‘චියර්’ කිරීමට යමක් යුක්රේන් වැසියන්ට දැන් ලැබී තිබෙනවා.
එංගලන්තයේ චෙල්සී සමාජ කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු වන Mykhailo Mudryk ප්‍රමාද වී ලබා ගත් ගෝලය යුක්රේනයට 2-1ක ජයග්‍රහණයක් අඟහරුවාදා රාත්‍රියේ තහවුරු කර දීමට ප්‍රමාණවත් වුනා. පෝලන්තයේ Wroclaw ක්‍රීඩාංගණයට රොද බැඳ ගෙන පැමිණ සිටි දහස් සංඛ්‍යාත යුක්රේනුවන් මේ ජයග්‍රහණයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්වුනා. සිය අසල්වැසි රට ට එරෙහිව රුසියාව ගෙන යන යුද්ධය හේතුවෙන් මේ තරගය පැවැත්වීමේ මධ්‍යස්ථ ඉසව්ව ලෙස පෝලන්තය ඔවුන්ගේ මේ ක්‍රීඩාංගණය ලබා දී තිබුනා. රුසියාව තම රට ආක්‍රමණය කරමින් සිටින නිසා යුක්රේනයට ඔවුන්ගේ තරග ක්‍රීඩා කිරීමට සිදුව තිබෙන්නේ ඔවුන්ගේ රටින් පිට.
තරගයේ අවසන් විසිල් නාදය නිකුත් වීමත් සමග දණින් වැටුනු Mudryk යාච්ඤා කරද්දී
තරගයේ අවසන් විසිල් නාදය නිකුත් වීමත් සමග දණින් වැටුනු Mudryk යාච්ඤා කරද්දී අනෙක් ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් පිටියේදී ම ජයග්‍රහණයේ සතුට සැමරුවා. ක්‍රීඩාංගණයේ සතර දෙසින් අතුරු සිදුරු නැතිව පිරී සිටි යුක්රේන පාපන්දු ලෝලීන් සතුටින් ‘චියර්’ කළේ නිල් සහ කහ පැහැති උර සළු හා කොඩි සාගරයක දසුනක් මවමින්.
යුක්රේන පාපන්දු ලෝලීන් සතුටින් ‘චියර්’ කළේ නිල් සහ කහ පැහැති උර සළු හා කොඩි සාගරයක දසුනක් මවමින්.
2022 පෙබරවාරියේ ආරම්භ වූ රුසියානු ආක්‍රමණයෙන් පසුව පලා ගිය මිලියන 6කට ආසන්න යුක්රේනුවන් අතරින් මිලියනයකට පමණ වන අනාථ වූ ජනතාවකට සෙවණ ලබා දී තිබෙන්නේ පෝලන්තය යි.
‘යුරෝ’ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී යුක්රේනය ඔවුන්ගේ කොටසේදී එංගලන්තය හා ඉතාලියට පසුව තෙවැනි ස්ථානයට පත්වූවත් අයිස්ලන්තය සමග තීරණාත්මක තරගයකට පිවිසීම පිණිස ඔවුන් බොස්නියා-හර්සගොවිනා කණ්ඩායම පරාජය කළා.
යුරෝපීය පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීම “ඉතාමත් වැදගත්” ජයග්‍රහණයක් ලෙසින් හැඳින්වූ යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelensky “යුක්රේනුවන්ට ජීවිතය අසීරු වී තිබෙන විට, ඔවුන් උත්සාහය අත්නොහැර දිගටම සටන් කරන බවටත්, අවසානයේ යුක්රේනුවන් නියත වශයෙන් ම ජය ගන්නා බවටත් නැවත වතාවක් ඔප්පු කිරීම වෙනුවෙන්” ජාතික පාපන්දු කණ්ඩායමට ඔහුගේ ස්තූතිය පළ කර සිටියා.
“දිනපතා ම අපිව විනාශ කරන්න ඔවුන්ට උවමනා වී තිබෙන මොහොතක, යුක්රේනුවන් දිගටම නොසැලී සිටින බව අපි ඔප්පු කරමින් සිටිනවා” යනුවෙන් යුක්රේන් ජනාධිපතිවරයා Telegram සමාජ මාධ්‍යයේ සටහනක් තැබුවා. “යුක්රේනය සැමදා තියේවි! ජයග්‍රහණය ලබා දුන්නාට ඔබට ස්තූතියි! යුක්රේනයට කීර්තිය!”
එළඹෙන ජූනි හා ජූලි මාසවල ජර්මනියේ පැවැත්වෙන EURO 2024 තරගාවලිය රුසියානු ආක්‍රමණයෙන් පසුව යුක්රේනය සහභාගි වන ප්‍රථම ප්‍රධාන ක්‍රීඩා තරගාවලිය යි.
මේ ආක්‍රමණය නිසා UEFA යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලයේ තහනමට ලක්ව සිටින රුසියාව මේ තරගාවලියට සහභාගි වන්නේ නැහැ.
යුක්රේනය EURO 2024 තරගාවලියේදී බෙල්ජියම, ස්ලොවේකියාව හා රුමේනියාව සමග ‘ඊ’ කොටසේ තරග වැදීමටයි නියමිත.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී