අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභියා බවට පත්වූ ජැමෙයිකාවේ යූසේන් බෝල්ට් පිහිටුවූ මීටර් 100 දුර දිවීම ලෝක වාර්තාව
ලෝකයේ වැඩිම කාලයක් නොබිඳී රැඳී තිබෙන වාර්තාව බවට දැන් පත්ව තිබෙනවා.
මීටර් 100 ධාවන ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ලෝක වාර්තාව හිමිකර ගෙන සිටි පුද්ගලයා බවට බෝල්ට් පත්ව සිටින්නේ ඔහුගේ එම වාර්තාවේ කාලයට දැන් අවුරුදු 14යි මාස 9ක් සම්පූර්ණ වී තිබෙන නිසා.
2009 වසරේ අගෝස්තු මස 16 වැනිදා ජර්මනියේ බර්ලින් නුවර පැවති 2009 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 අවසාන තරගයේදී තත්පර 9.58ක් සටහන් කරමින් බෝල්ට් පිහිටුවූ ලෝක වාර්තාව දැන් අමෙරිකාවේ ජිම් හායින්ස් (Jim Hines) එම ඉසව්වේ ම තබා තිබූ දීර්ඝතම කාලයේ වාර්තාව අභිබවා ගොස් තිබෙනවා.
මීටර් 100 දුර තත්පර 10ට අඩුවෙන් ධාවනය කළ ලෝකයේ පළමු පුද්ගලයා වූ ජිම් හායින්ස්
මීටර් 100 දුර තත්පර 10ට අඩුවෙන් ධාවනය කළ ලෝකයේ පළමු පුද්ගලයා වූ 1968 මෙක්සිකෝ ඔලිම්පික් මීටර් 100 ශූර ජිම් හායින්ස් 76 වැනි වියේ පසුවෙමින් සිටියදී 2023 වසරේ ජූනි 5 වැනිදා මිය ගියා. තත්පර 9.99කින් මීටර් 100 ඉසව්ව අවසන් කළ ඔහු කලක් ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳ සිටියා.
බේස්බෝල් ක්‍රීඩාවේ සිට ජවන හා පිටිය තරග බිමට පිවිසි හායින්ස් ඔහුගේ මලල ක්‍රීඩා දිවිය ඇරඹුවේ එක්දහස් නවසිය හැට ගණන්වල මුල් අවධියේ. ඔහුගේ ක්‍රීඩා දිවියේ වැදගත්ම දක්ෂතාව වාර්තා වූයේ 1968 අමෙරිකානු ජාතික ජවන හා පිටිය ශූරතාවලියේ. එහිදී ඔහු තත්පර 9.99ක් සටහන් කරමින් මීටර් 100 දුර ප්‍රමාණය තත්පර 10ක කාලයකට වඩා අඩුවෙන් අවසන් කළ ලෝකයේ පළමු පුද්ගලයා බවට ඉතිහාසගත වුනා.
හායින්ස්ගේ මේ ලෝක වාර්තාගත කාලය1968 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඔහුට සුදුසුකම් ලබා දුන් අතර, එහිදී ඔහු මීටර් 100 ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේ තත්පර 9.95ක ලෝක වාර්තාගත කාලයක් සටහන් කරමින්. එම ක්‍රීඩා උළෙලේ මීටර් 100x4 සහාය දිවීම කණ්ඩායමේ රන් පදක්කම් ජයග්‍රහණයටද ඔහු දායක වුනා.

අමෙරිකාවේ ම කැල්වින් ස්මිත් (Calvin Smith) 1983 වසරේදී මේ දක්ෂතාව අභිබවා යන තුරුම ජිම් හායින්ස්ගේ මීටර් 100 ලෝක වාර්තාව වසර 15කට ආසන්න කාලයක් පැවතුනා. යූසේන් බෝල්ට් විසින් මෑතකදී මකා දමනු ලැබුවේ මේ වාර්තාව යි.
සිය සාර්ථක මලල ක්‍රීඩා දිවියෙන් පසුව හායින්ස් කෙටි කාලයක් Miami Dolphins හා Kansas City Chiefs කණ්ඩායම් වෙනුවෙන් වෘත්තීය පාපන්දු ක්‍රීඩා කළා. 1994 වසරේදී ඔහුව ටෙක්සාස් ක්‍රීඩා කීර්තිමතුන්ගේ කවයට ඇතුළත් කර ගනු ලැබුවා.
බෝල්ට් දැන් වෘත්තීය මලල ක්‍රීඩා තරග බිමෙන් විශ්‍රාම ගොස් සිටිනවා. දෙසැම්බරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ මීටර් 100 හා මීටර් 200 ඉසව්වල තිබෙන තමාගේ වාර්තා ළඟදී බිඳ දැමීමක් ගැන තමා කරදර නොවන බව යි. ලෝකයේ වේගවත්ම මිනිසා බවට පත්වූ බෝල්ට්ගේ මීටර් 100 තත්පර 9.58 හා මීටර් 200 තත්පර 19.19 යන ලෝක වාර්තා දෙක ම පිහිටුවනු ලැබුවේ 2009 ලෝක ශූරතාවලියේ දී.

එදා මෙදා තුර බිහිවූ වේගවත්ම මිනිසා ලෙසින් තවමත් ඔහුව හැඳින්වීම පිළිබඳව සතුටු වන බව 37 හැවිරිදි බෝල්ට් කියනවා. “ඒක තබා ගත යුතු ශ්‍රේෂ්ඨ පට්ටමක්. ඒ ආමන්ත්‍රණය ඇසීමෙන් මම ලොකු වින්දනයක් ලබනවා” යැයි බෝල්ට් කියනවා.
යූසේන් බෝල්ට් ප්‍රථම වතාවට මීටර් 100 ලෝක වාර්තාව තැබුවේ 2008 මැයි මාසයේදී. ඉන්පසු 2008 අගෝස්තුවේ හා ඊට හරියටම වසරකට පසුව බර්ලින්හිදී තත්පර 9.58ක ධාවනයේ යෙදෙමින් ඔහු දෙවතාවක් ම එම වාර්තාව බිඳ දැමුවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






