ආජන්ටිනාවේ ලිඅනල් මෙසී වයස අවුරුදු 13ක්ව සිටියදී ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු සමාජය ඔහු බඳවා ගැනීමට පොරොන්දු වෙමින් අත්සන්
කළ ජනප්‍රිය අත පිස්නය පවුම් 762,400 (ඩොලර් 965,000)කට අලෙවි වී තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ Bonhamas නිවහනේ වෙන්දේසියේ දී මේ අලෙවිය සිදු කෙරුනු බව වාර්තා වනවා.
ප්‍රතිපත්තියක් වශයෙන් මේ එකඟත්වය අත පිස්නයක මීට වසර 25කට ඉහත අත්සන් කර තිබෙන්නේ බාසිලෝනා නගරයේ ටෙනිස් සමාජයකදී. බාසිලෝනා පාපන්දු සමාජය සමග වඩාත් විධිමත් හා විස්තරාත්මක කොන්ත්‍රාත්තුවකට එළඹීම සිදුව තිබෙන්නේ ඉන්පසුව.
බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ එවකට සිටි ක්‍රීඩා අධ්‍යක්ෂ Carles Rexach, ක්‍රීඩකයන් මාරුකිරීමේ උපදේශක Josep Maria Minguella සහ ආජන්ටිනාවේ ඒජන්ත Horacio Gaggioli වසර 2000 දෙසැම්බර් 14 වැනි දින බාසිලෝනා ටෙනිස් සමාජයක දිවා ආහාරයකට හමුවූ අවස්ථාවේ මෙසී සම්බන්ධ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ අත පිස්නයක (Napkin).
මේ තිදෙනාගේ අත්සන් සහ දිනය එම අත පිස්නයේ සඳහන්ව තිබෙනවා.
මේ තිදෙනාගේ අත්සන් සහ දිනය එම අත පිස්නයේ සඳහන්ව තිබෙනවා.
Rexach වේටර්වරයෙකුගෙන් කඩදාසියක් ඉල්ලා සිටි විට ඔහුට ලැබී තිබෙන්නේ හිස් අත පිස්නයක්. තිදෙනා ගිවිසුම අත්සන් කර තිබෙන්නේ ඒ කඩදාසි අත පිස්නයේ.
නව යොවුන් වියේ පසුවෙමින් සිටි මෙසීගේ බාසිලෝනා ගිවිසුම නිසැකයෙන්ම ක්‍රියාත්මක වන බවට ඔහුගේ පියා Jorge Messi ට යළි විශ්වාසය තහවුරු කිරීමට නිල් තීන්තවලින් ලියන ලද ගිවිසුමේ භාෂාවෙන් අපේක්ෂා කර තිබෙනවා.
බාසිලෝනා සමග සිදු කෙරුනු ගිවිස ගැනීමේ කටයුතු නතර වී තිබූ නිසා තමාගේ පුතාව නැවත ආජන්ටිනාව ට ගෙන යන බවට පියා තර්ජනය කර තිබෙනවා.
එදා ඒ තීරණාත්මක දිනයේ අත පිස්නයේ ගිවිසුම අත්සන් කළ එක් පුද්ගලයෙකු වන Horacio Gaggioli වෙනුවට මේ වෙන්දේසිය පැවැත්වූ බව Bonhams වෙන්දේසිකරුවන් ප්‍රකාශ කළා.
වෙන්දේසියේ ආරම්භක ලංසුව වූයේ පවුම් 300,000 (ඩොලර් 379,000)ක්.
ලිඅනල් මෙසී එම පාපන්දු සමාජය සමග දශක දෙකකට ආසන්න කාලයක් ගත කළා.
දහතුන් වැනි වියේ පසුවෙමින් සිටියදී, බාසිලෝනා පාපන්දු සමාජයේ තරුණ කණ්ඩායම්වල ක්‍රීඩා කිරීම පිණිස ආජන්ටිනාවේ සිට ස්පාඤ්ඤයට පැමිණි ලිඅනල් මෙසී එම පාපන්දු සමාජය සමග දශක දෙකකට ආසන්න කාලයක් ගත කළා.
2004 වසරේදී මංගල වතාවට බාසිලෝනා පළමු කණ්ඩායමට ක්‍රීඩා කළ මෙසී එම සමාජයේ ප්‍රධාන සංචිතය සමග තරග වාර 17කට ක්‍රීඩා කළා. චැම්පියන්ස් ලීගය සිවු වතාවක් සහ ස්පාඤ්ඤ ලීගය දහ වතාවක් ඇතුළුව සෑම ප්‍රධාන කුසලානයක් ම දිනා ගැනීමට මෙසී බාසිලෝනා පාපන්දු සමාජයට උපකාර කළා.
බාසිලෝනා කණ්ඩායමේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු බවට පත්වූ මෙසී කුසලාන 30කට වැඩියෙන් දිනා ගැනිම
බාසිලෝනා කණ්ඩායමේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු බවට පත්වූ මෙසී, කුසලාන 30කට වැඩියෙන් දිනා ගෙන එම සමාජයෙන් පිටත්ව 2021 වසරේදී ප්‍රංශයේ ‘පැරිස් සැන්-ජමෑන්’ කණ්ඩායමට එක්වීම සඳහා ගියේ බාසිලෝනා වෙනුවෙන් ගෝල් 672ක් ලබා ගෙන ඔවුන්ගේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා බවට පත්වීමෙන් පසුව.
ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන Ballon d’Or සම්මානය වාර්තාගත අයුරින් අට වතාවක් හිමිකර ගත් මෙසී ආජන්ටිනාව 2022 ලෝක කුසලාන පාපන්දු කිරුළ කරා මෙහෙයවූවා. වර්තමානයේ ඔහු අමෙරිකාවේ ‘ඉන්ට මයාමි’ කණ්ඩායම නියෝජනය කරමින් Major League Soccer තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටිනවා.
ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන Ballon d’Or සම්මානය වාර්තාගත අයුරින් අට වතාවක් හිමිකර ගැනිම
වෙන්දේසි කළ අත පිස්නය කඩදාසියක් වූව ද, ලිඅනල් මෙසීගේ අතිවිශිෂ්ට ක්‍රීඩා දිවිය ආරම්භ කළේ ඒ අත පිස්නය යි.
ලිඅනල් මෙසීගේ ජීවිතය හා බාසිලෝනා පාපන්දු සමාජයේ අනාගතය වෙනස් කිරීමට මේ අත පිස්නයට හැකිවුනා. ලෝකය පුරා මිලියන ගණන් ක්‍රීඩා ලෝලීන්ට පාපන්දු ක්‍රීඩාවේ වඩාත්ම උත්කෘෂ්ට අවස්ථාවන් ලබා දීමට මේ අත පිස්නය උපකාරී වුනා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






