දකුණු ආසියාවේ තරුණ ටේබල් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් සහ තරගකාරිත්වය උරගා බැලෙන දකුණු ආසියානු යොවුන් ටේබල්
ටෙනිස් ශූරතාවලිය මැයි 26 සිට 29 දක්වා මහනුවරදී පැවැත්වෙනවා.
බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, මාල දිවයින්, පාකිස්තානය හා සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල තරුණ ටේබල් ටෙනිස් හැකියාවන් සිවු දිනක් තිස්සේ ප්‍රදර්ශනය වන මේ තරගාවලිය පැවැත්වෙන්නේ මහනුවර මහනගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ.
අවුරුදු 15න් පහළ බාලක බාලිකා
ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමය මහනුවර මහනගර සභාවේ ද සහයෝගය ඇතිව මේ ශූරතාවලිය සංවිධානය කරන්නේ ආසියානු ටේබල් ටෙනිස් සංගමයේ මග පෙන්වීම යටතේ. ජූනි මස අග චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ටේබල් ටෙනිස් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැණෙන සුදුසුකම් තරගාවලියක් ලෙස ද මහනුවර තරගාවලිය සැලකෙනවා. චීනයේ පෑවැත්වීමට නියමිත තරගාවලිය සඳහා අවුරුදු 15න් හා 19න් පහළ බාලක බාලිකා වශයෙන් කණ්ඩායම් 4ක් සහභාගි කරවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.
අවුරුදු 15න් පහළ සහ 19න් පහළ වයස් ඛාණ්ඩ යටතේ දකුණු ආසියාවේ ටේබ්ල් ටෙනිස් බාලක හා බාලිකාවන් මහනුවරදී තරග වැදීමට නියමිතව තිබෙන්නේ කණ්ඩායම්, කේවල, යුගල සහ මිශ්‍ර යුගල ඇතුළත් විවිධ ඉසව්වල.
අවුරුදු 19න් පහළ වයස් ඛාණ්ඩ
මේ තරගාවලිය සඳහා චීනය සහ ඉන්දියාවේ වටිනා සහයෝගය ලැබී තිබෙන බව ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ තරගාවලි සංවිධාන කමිටුවේ සභාපති චන්දන පෙරේරා මහතා පවසනවා. ඒ අනුව Yinhe China ආයතනය රුපියල් මිලියන අටක් වටිනා ක්‍රීඩා උපකරණ ලබා දී තිබෙන අතර Stag India ආයතනය ක්‍රීඩක ක්‍රීඩිකාවන්‌ගේ ක්‍රීඩා ඇඳුම් සපයා තිබෙනවා.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු වශයෙන් ඉදිරියට එමින් තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් රුපියල් මිලියන 5ක මුදලක් පිරිනමා තිබෙනවා.
දකුණු ආසියානු යොවුන් ටේබල් ටෙනිස් ශූරතාවලියේ අරමුණ වන්නේ දකුණු ආසියාවේ තරුණ ටේබල් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් හඳුනාගෙන ඒවා දියුණු කිරීම පමණක් නොව කලාපයේ රටවල ටේබල් ටෙනිස් කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා සුහදශීලිත්වය මෙන්ම ක්‍රීඩාශීලිත්වය ද පෝෂණය කිරීම බව චන්දන පෙරේරා ප්‍රකාශ කරනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






