2024 ප්‍රිමිය ලීග් ඩාට්ස් ශූරයා ලෙස කිරුළ පැළඳුවත් ලූක් ලිට්ල (Luke Littler) ට ලබන මාසයේ පැවැත්වෙන ලෝක කුසලාන ඩාට්ස් තරගාවලියේ
එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් නැහැ.
ඩාට්ස් ක්‍රීඩාවේ වර්තමානයේ ජනප්‍රියතම ක්‍රීඩකයා ලිට්ල විය හැකි වූවත් ජූනි මාසයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව අහිමි වන්නේ ඔහු ප්‍රමාණවත් ශ්‍රේණිගත කිරීමක් ලබා ගෙන නැති නිසා.
එංගලන්තයේ වෘත්තීය ඩාට්ස් කවුන්සලයේ - Professional Darts Corporation (PDC) - මේ රෙගුලාසිය අනුව, ජූනි 16 වැනිදා ජර්මනියේ ඇරඹෙන ලෝක කුසලාන ඩාට්ස් තරගාවලිය දෙස ඈතක සිට බලා සිටීමට 17 හැවිරිදි ලූක් ලිට්ල ට සිදුව තිබෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රිමිය ලීග් තරගාවලියේදී ඔහු අතින් පරාජය වූ මයිකල් ස්මිත් (Michael Smith) හා ලූක් හම්ෆ්‍රීස් (Luke Humphries) ඔහු වෙනුවට එංගලන්තය නියෝජනය කරද්දී.
මයිකල් ස්මිත් හා ලූක් හම්ෆ්‍රීස්
PDC කුසලතා අනුපිළිවෙල යටතේ ලෝක ශූර හම්ෆ්‍රීස් ලොව අංක 1 ට හා ස්මිත් අංක 2 ට ශ්‍රේණිගතව සිටින අතර මේ ක්‍රීඩා වාරයේ අතිවිශිශ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ද ලිට්ල ශ්‍රේණිගතව සිටින්නේ අංක 25 ට.
කෙසේ වෙතත්, මේ ශ්‍රේණිගත කිරීම් සිදුවන්නේ ක්‍රීඩකයෙක් දෙවසරක කාලයක් ඇතුළත දිනා ගන්නා ත්‍යාග මුදලේ ප්‍රමාණය අනුව. ලිට්ල ඩාට්ස් කරළියට පිවිසියේ මෑතකදී...පසුගිය දෙසැම්බරයේ පැවති PDC ලෝක ශූරතාවලියෙන්.
ලබන මාසයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය අහිමි වීම පිළිබඳව තමා තුළ කලකිරීමක් හටගෙන තිබෙන බව පිළිගත් ලිට්ල කියා සිටියේ, “ශ්‍රේණිගත කිරීමේ නීති වසර ගණනාවක් තිස්සේ පවතින ඒවා. හම්ෆ්‍රීස් හා ස්මිත් වැඩේ හරියට කරයි කියලා මට විශ්වාසයි” යනුවෙන්.
ශ්‍රේණිගත කිරීමේ නීති වසර ගණනාවක් තිස්සේ පවතින ඒවා. හම්ෆ්‍රීස් හා ස්මිත් වැඩේ හරියට කරයි කියලා මට විශ්වාසයි
එංගලන්තය මීට පෙර අවසන් වතාවට ඩාට්ස් ලෝක කුසලානය හිමිකර ගත්තේ 2016 වසරේ දී. ඒ, ෆිල් ටේල සහ ඒඩ්‍රියන් ලුවිස් ශූරතාව දිනා ගත් අවස්ථාවේ.
ලූක් ලිට්ල මේ වසරේදී ඩාට්ස් ක්‍රීඩාවට අලුත් පරම්පරාවක් ආකර්ෂණය කිරීමට සමත් වූ බැවින් ලෝක කුසලාන තරගාවලියට ඔහුව සහභාගි කර ගැනීමේ නොහැකියාව තරග සංවිධායකයින්ට ලොකු ප්‍රශ්නයක්. මේ ළාබාල ක්‍රීඩකයා ප්‍රිමිය ලීග් කීර්තිය අත්කර ගැනීමට පෙර බහරේන් ඩාට්ස් මාස්ටර්ස්, ඔස්ට්‍රියානු විවෘත හා බෙල්ජියම් විවෘත කිරුළු දිනා ගත්තා.
බහරේන් ඩාට්ස් මාස්ටර්ස්, ඔස්ට්‍රියානු විවෘත හා බෙල්ජියම් විවෘත කිරුළු දිනා ගැනිම
ලූක් ලිට්ල ප්‍රිමිය ලීග් කිරුළ දිනා ගත් ළාබලතම ක්‍රීඩකයා බවට පත්වූවා පමණක් නොව ඔහු වැඩිදුරටත් ඉතිහාසය නිර්මාණය කළේ හම්ෆ්‍රීස් ට එරෙහිව nine-dart හපන්කමක් වාර්තා කරමින්. අවසාන තරගයකදී මීට පෙර මේ දක්ෂතාව දක්වා තිබෙන්නේ එක් ක්‍රීඩකයෙක් පමණ යි. 2010 වසරේ දී ඒ ක්‍රීඩකයා වූයේ ෆිල් ටේල.
මේ අතර, ප්‍රිමිය ලීග් ශූරතාව දිනා ගැනීමෙන් හිමිකර ගත් පවුම් 275,000ක ජයග්‍රාහී මුදලෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් බදු ගෙවීම් වශයෙන් ලිට්ල ට අහිමි වනු ඇතැයි වාර්තා වනවා.
සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






