මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස ඉන්දියාවේ වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා (Jasprit Bumrah) සහ
වැඩිම ලකුණුලාභියා ලෙස ඔස්ට්‍රේලියාවේ ආක්‍රමණශීලී පිතිකරු ට්‍රැවිස් හෙඩ් (Travis Head) පත්වනු ඇති බවට හිටපු ඔස්ට්‍රේලියා නායක රිකී පොන්ටිං (Ricky Ponting) අනාවැකි පළ කරනවා.
හිටපු ඔස්ට්‍රේලියා නායක රිකී පොන්ටිං (Ricky Ponting)
සිය ක්‍රිකට් විචක්ෂණභාවය පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන පොන්ටිං, තීරණාත්මක අවස්ථාවන්හිදී තරගය වෙනස් කිරීමේ බුම්රාගේ දක්ෂතාව විසින් ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගන්නා පන්දු යවන්නා බවට පත්කරවනු ඇති බවත් පිතිකරණයේදී හෙඩ්ගේ ප්‍රවේගකාරී හා නොවෙනස් පිතිහරඹය නිසා ඔහු තරගාවලියේ වැඩිම ලකුණු රැස් කරන පිතිකරුවා වනු ඇති බවත් ප්‍රකාශ කරනවා.
මේ ක්‍රීඩකයන් දෙදෙනා ම T20 ක්‍රිකට් ක්‍රීඩාවේ අතිවිශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කර තිබෙන අතර ලෝක වේදිකාවේ දීප්තිමත්ව බැබලෙමින් ඔවුන්ගේ දක්ෂතාවන් තුළින් ඉහළ මට්ටමේ බලාපොරොත්තු ඇති කරවීමට ඔවුන්ට තිබෙන හැකියාව පොන්ටිංගේ මේ නිගමණයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
ජස්ප්‍රිට් බුම්රා විස්සයි20 ලෝක කුසලාන තරග බිමට පිවිසෙන්නේ ඉතාමත් සාර්ථක IPL ක්‍රීඩා වාරයකින් පසුව. එහිදී තරග 13කින් ඔහු කඩුලු 20ක් ලබා ගත්තේ ලකුණු 6.48ක සිත්ගන්නා සකසුරුවම් පන්දු යැවීමකින්. මෙය වඩාත් විශේෂත්වයක් ගන්නේ ඉතාමත් ඉහළ ලකුණු ලබා ගැනීමක් තිබෙන තරගාවලියකදී මේ පන්දු යැවීම ප්‍රදර්ශනය කිරීම නිසා.
“ඔහු කඩුලු ලබා ගන්නවා. ඔහු අසීරු ඕවරත් ගොඩක් යවනවා. විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ අසීරු ඕවර යවද්දී, කඩුලු ගොඩක් ලබා ගැනීමේ අවස්ථාවක් ද ඒ අතර ලැබෙනවා. ඒ නිසායි මම කියන්නේ බුම්රා මෙවර තරගාවලියේ වැඩියෙන්ම කඩුලු ලබා ගන්නවා කියලා” යනුවෙන් පොන්ටිං පවසන්නේ ඔහුගේ අනාවැකිය සාධාරණීකරණය කරමින්.
“වැඩිම ලකුණු ලබා ගන්නා පිතිකරුවා ලෙස මම දකින්නේ ට්‍රැවිස් හෙඩ්. රතු පන්දුව වේවා සුදු පන්දුව වේවා මේ සෑම ක්‍රීඩාවකදීම ඔහු පසුගිය අවුරුදු කිහිපය තුළ කළ සියළු ක්‍රියාවන් මගේ මතකයට එනවා. ඒ සියළු දස්කම් තිබුනේ ඉතාමත් ඉහළ මට්ටමක. මේ මොහොතේ ඔහු නිර්භීත ක්‍රිකට් ක්‍රීඩාවක් කරන බව මම හිතනවා” රිකී පොන්ටිං සඳහන් කරනවා.
පසුගිය වසරේ පැවති ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී ම හෙඩ් ආබාධයකට ලක්වුනා. එහෙත් ඔහුගේ කුසලතාව පිළිබඳව ඔස්ට්‍රේලියාව ට තිබූ විශ්වාසය කොතරම් ප්‍රබල ද යත් ඔහු සුවය ලබන තුරු ඔවුන් හෙඩ්ව සංචිතය සමග රඳවා තබා ගත්තා.
එම තරගාවලියේ හෙඩ් නැවත තරග බිමට පිවිස නවසිලන්තය ට එරෙහිව ක්‍රීඩා කළ තරගයේදී, කණ්ඩායම තමා කෙරෙහි තබා තිබූ විශ්වාසයේ ණය ආපසු ගෙවා දැමුවේ ඉතා වේගවත් ශතකයකින්. ඔහු ඒ ලෝක කුසලාන තරගාවලිය චමත්කාරජනක වාර්තාවකින් අවසන් කළේ ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ලබා ගනිමින්. ලකුණු 50 ට වැඩි සාමාන්‍යක් පවත්වා ගෙන ගිය ඔහු 127.52ක විශිෂ්ට ප්‍රහාරාත්මක වේගයක් සටහන් කළා.

ඉන්දියා ප්‍රිමිය ලීගයේ 2024 ක්‍රීඩා වාරයේදී ද සිය දස්කම් දිගටම පවත්වා ගෙන යාමට ට්‍රැවිස් හෙඩ් සමත් වුනා. එහිදී ‘සන්රයිසර්ස් හයිදරාබාද්’ කණ්ඩායමේ තරග මෙහෙයුමේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස තීරණාත්මක කාර්යභාරය ඔහු අවසාන තරගය දක්වා ම කරගෙන ගියා. එම තරගාවලිය මුළුල්ලේ, ඔහු තරග 15කදී ලකුණු 567ක් රැස් කළේ 191.55ක අපූර්ව ප්‍රහාරාත්මක වේගයක් පවත්වා ගෙන යමින්.
ට්‍රැවිස් හෙඩ්ගේ IPL ක්‍රීඩා වාරයේ සමාප්තිය ප්‍රබල නොවූව ද, අමෙරිකාවේ හා කැරිබියන් දූපත්වල ඉදිරියේ පැවැත්වෙන තරගවලදී ඔහු ඔහුගේ ප්‍රතාපවත් එඩිතරකම හා දක්ෂතාව දිගටම ප්‍රදර්ශනය කරනු ඇතැයි රිකී පොන්ටිං අපේක්ෂා කරනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






