පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් ශූරයින් හා පදක්කම්ලාභීන් බවට පත්වන සියළු දෙනාටම මුදල් ත්‍යාග පිරිනැමීමට
ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA) තීරණය කර තිබෙනවා.
ජගත් ඔලිම්පික් කමිටුව (IOC) විසින් ජාත්‍යන්තර බොක්සිං සංගමයට තිබෙන පිළිගැනීම පසුගිය වසරේදී ඉවත් කිරීමෙන් පසුව එම සංගමය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලිය සංවිධානය කරන්නේ නැහැ.
එහෙත්, පැරිස් ඔලිම්පික් උළෙලේ බොක්සිං තරගකරුවන් ශ්‍රේණිගත වන ස්ථාන පදනම් කරගෙන රන් පදක්කම්ලාභීන්ට ඩොලර් 100,000ක්, රිදී පදක්කම් වෙනුවෙන් ඩොලර් 50,000ක් හා ලෝකඩ පදක්කමක් සඳහා ඩොලර් 25,000ක් ප්‍රදානය කරන බව IBA ප්‍රකාශ කරනවා.
ඔලිම්පික් බොක්සිං ජයග්‍රාහකයන්ට මෙසේ මුදලින් ත්‍යාග පිරිනැමීම, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී මලල ක්‍රීඩකයන්ට ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් පිරිනමමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ජයග්‍රාහකයන්ට මුදලින් ත්‍යාග පිරිනමන ලෝකයේ පළමු ක්‍රීඩා පාලක මණ්ඩලය තමන් බවට ප්‍රකාශ කළ ලෝක මලල ක්‍රීඩා සම්මේලනය අනුගමණය කිරීමක්.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේ රන් පදක්කම දිනා ගන්නා ක්‍රීඩකයන්ට ඩොලර් 100,000ක් පිරිනමන අතර ඒ මුදලින් ඩොලර් 50,000ක් ක්‍රීඩකයාටත්, ඩොලර් 25,000ක් පුහුණුකරුටත්, ඩොලර් 25,000ක් ඔවුන්ගේ ජාතික සම්මේලනයටත් හිමිවන බව IBA සභාපති Umar Kremlev ප්‍රකාශ කරනවා.
“අපේ ක්‍රීඩකයන් හා ඔවුන්ගේ උත්සාහයන් අගය කළ යුතුයි. බොක්සිං ක්‍රීඩකයන් වෙනුවෙන් IBA විශාල ප්‍රමාණයෙන් ආයෝජනය කරනවා. ඔවුන් අපේ ප්‍රධාන අවධානය ලෙස දිගටම සිටිනවා. ඔවුන්ට සෑම මට්ටමකදීම සහයෝගය දීම අපි ඉදිරියටත් කරනවා” යනුවෙන් සභාපතිවරයා පවසනවා.
සම්පූර්ණ ත්‍යාග මුදල් අරමුදලට ඩොලර් මිලියන 3.1කට වඩා වැඩි වටිනාකමක් තිබෙන බවත් ඒ මුදල බොක්සිං ක්‍රීඩකයන් 100කට වැඩි පිරිසක් අතර බෙදා දෙන බවත් Kremlev සඳහන් කරනවා.
“අපි මෙයින් පෙන්වන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන ඔවුන්ගේ ශූරයින්ට සැලකිය යුත්තේ කුමන ආකාරයෙන් ද කියා පැහැදිලි උදාහරණයක්.”
“මෙය නියම ක්‍රියාවන් සහිත නියම සහයෝගයක්. මෙය ජාත්‍යන්තර ක්‍රීඩා පරිසරයේ ඉතාම අඩුවෙන් සිදුවන දෙයක්. අපේ බොක්සිං ක්‍රීඩකයන්ට සහාය වෙමින් ඔවුන්ගේ වෙහෙසකාරී පුහුණුව හා කැපවීම වෙනුවෙන් මුදලින් ප්‍රදානයක් කිරීමේ ක්‍රියාවලියකට මූලිකත්වය දෙන්න අවස්ථාවක් ලැබීම ගැන අපි සතුටු වනවා.”
ජාත්‍යන්තර බොක්සිං සංගමය ඔවුන්ගේ පරිපාලනය, මුදල් පාලනය හා සදාචාරමය කාරණා සංශෝධනය කිරීම සම්පූර්ණ කිරීමට අසමත් වීම නිසා ඔවුන්ට තිබෙන පිළිගැනීම ඉවත් කර ගැනීමට ජගත් ඔලිම්පික් කමිටුව පසුගිය වසරේ ජූනි මාසයේදී තීරණය කළා.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියන් සංවිධානය කරන්නේ IOC විසින්. නමුත් මේ ක්‍රීඩාව අනාගත ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලින් ඉවත් කරනු ඇති බවට බියක් මතුව තිබෙන්නේ මීළඟ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මුල් වැඩසටහනට එම ක්‍රීඩාව ඇතුළත්ව නොතිබූ බැවින්.
(වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

“අපි මෙයින් පෙන්වන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන ඔවුන්ගේ ශූරයින්ට සැලකිය යුත්තේ කුමන ආකාරයෙන් ද කියා පැහැදිලි උදාහරණයක්.”




