ඉන්දියාව හා පාකිස්තානය අතර තිබෙන ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ප්‍රතිවාදිත්වය අද තව දුරටත් ප්‍රදර්ශනය වෙනවා.
එහෙත් මෙවර ඔවුන් තරග වදින්නේ දෙපිලටම නුහුරු භූමියක් වන අමෙරිකාවේ.
රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව බබාර් අසාම් මෙහෙයවන පාකිස්තානය සමග 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයට නිව්යෝක් හි නසාවු කවුන්ටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද ක්‍රීඩා කරන විට දකුණු ආසියාවේ මිලියන දහස් ගණන් ක්‍රිකට් ලෝලීන් රූපවාහිනී යන්ත්‍රවලට ඇලී සිටිනු ඇති අතර වඩාත් වාසනාවන්ත අය 34,000කට අසුන් ගත හැකි ක්‍රීඩාංගණයේ සෑම ආසනයකම වාඩි වී සිටිනු ඇති බවට සැකයක් නැහැ. මේ උණුසුම් තරගය වෙනුවෙන් වූ ප්‍රවේශ පත් සියල්ල මාස කිහිපයකට පෙර විකිණී අවසන් වීම පුදුමයක් නෙවෙයි.
මේ ක්‍රීඩාංගණයේදී ම ඉන්දියාව ඔවුන්ගේ මූලික වටයේ ආරම්භක තරගයේදී අයර්ලන්තය කඩුලු 8කින් පැරදවීමෙන් පසුව ධෛර්යසම්පන්නව සිටින අතර ඩලස් නගරයේදී පැවති සිය පළමු තරගයේදී ම ICC ලෝක ශ්‍රේණිගත කිරීමේ 18 වැනි ස්ථානයේ පසුවන අමෙරිකාව වෙතින් සුපිරි ඕවරයේදී ලැබූ පරාජයෙන් අන්දමන්දව සිටින පාකිස්තානය ලෝකයේ ඉහළින් ම ශ්‍රේණිගතව සිටින T20 කණ්ඩායම වන ශක්තිමත් ඉන්දියාව අභිබවා යාමට නම් තම ක්‍රීඩාව ඉතාමත් ප්‍රබල ලෙස උසස් තත්ත්වයකට නංවා ගත යුතුව තිබෙනවා.
අද තරගයෙන් පරාජය වුවහොත් ‘සුපිරි අට’ වටයට පිවිසීමේ පාකිස්තානයේ අවස්ථාව සැලකිය යුතු අන්දමින් අඩු වෙනවා.
මේ පරම ප්‍රතිවාදීන් අතර තිබෙන විස්සයි20 තරග වාර්තාව දෙස බලන විට, ඉන්දියාව පැහැදිලි වාසියක් අත්කර ගෙන සිටින්නේ ‘සුපරි ඕවර’ ජයග්‍රහණයක් ද සමග තරග 12කින් ජයග්‍රහණ 9ක් ලබා ගෙන. T20 ලෝක කුසලාන දත්ත අනුව ICC T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල වර්තමානයේ 6 වැනි ස්ථානයේ පසුවන පාකිස්තානය ට තරග 7කදී තිබෙන්නේ එක් ජයග්‍රහණයක් පමණ යි. කඩුලු 10ක ඒ හුදෙකලා ජයග්‍රහණය පාකිස්තානය ට ලැබුනේ ඩුබායි හි පැවති 2021 ලෝක කුසලාන මූලික වට තරගයකින්.
කෙසේ වෙතත්, මෑතකදී සුදු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුනු දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන් පසුවන්නේ සර්වශුභවාදීව. “පාකිස්තාන් ක්‍රීඩකයන් ඉතාමත් දක්ෂයන්. අද තරගය දෙස දැඩි අවධානය යොමු කර සිටින ඔවුන් ඉන්දියාව ට එරෙහිව ඔවුන්ගේ උපරිම ශිල්ප දක්වාවි. අමෙරිකාව එක්ක තිබුනු පළමු තරගයේ ප්‍රතිඵලය අපි අමතක කරලයි තියෙන්නේ” යනුවෙන් කර්ස්ටන් කියනවා.
සැලැස්මකට අනුව කණ්ඩායම ක්‍රීඩා කරනු ඇතැයි මීට මාසයකට ඉහත පාකිස්තාන සංචිතයට එක්වූ හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරුවා පවසනවා.
ඉන්දියාව හා පාකිස්තානය එකිනෙකා සමග අමෙරිකාවේදී තරග වදින්නේ පළමු වතාවට නිසා මේ තරගය ලොකු සටනක් බවට පත්වනවා
“මම සතුටුදායක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වනවා. ඉන්දියාව හා පාකිස්තානය එකිනෙකා සමග අමෙරිකාවේදී තරග වදින්නේ පළමු වතාවට නිසා මේ තරගය ලොකු සටනක් බවට පත්වනවා” යනුවෙන් කර්ස්ටන් කියා සිටින්නේ අමෙරිකාවේ තණතීරු සාමාන්‍යයෙන් පන්දු යවන්නන්ට උපකාර කරන බව සඳහන් කරමින්.
“T20 කියන්නේ හාත්පසින්ම වෙනස් වූ ක්‍රීඩාවක්. ඩලස් හි අමෙරිකාව ට එරෙහිව පැවති අපේ තරගයේදී අපි දුටුවා වගේ මේ තරගවල තත්ත්වයන් හිටිහැටියේ වෙනස් වෙනවා.”
තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ඉමාඩ් වසිම් දැන් සම්පූර්ණ සුවය ලබා සිටින අතර ඉන්දියාව සමග තරගයට සූදානම්. ආබාධයක් හේතුවෙන් ඔහු අමෙරිකාව සමග තරගයට සහභාගි වුනේ නැහැ. කණ්ඩායමකට උවමනා ප්‍රතිඵල අත්කර ගැනීමට නම් පන්දු රැකීම ඉතාමත් වැදගත් කාර්යයක් ඉටු කරන බව ද කර්ස්ටන් පැවසුවා. පාකිස්තානය අද තරගයට දඟ පන්දු හා වේග පන්දු මිශ්‍රණයක් සහිතව සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරනවා.

මේ අතර ඉන්දියා නායක රෝහිත් ෂර්මා කියන්නේ සාර්ථකත්වයට මග හොඳින් තරග කරන ක්‍රිකට් ක්‍රීඩාවක් බව. කණ්ඩායම විසින් අද තරගය පන්දුවෙන් පන්දුවට හා ඕවරයෙන් ඕවරයට බාර ගනු ඇතැයි ඔහු ප්‍රකාශ කරනවා.
“අපට උවමනා කරන්නේ ඕවරයෙන් ඕවරයට පාකිස්තාන දණ ගස්සන්නයි” ඉන්දියා නායකයා පවසනවා.
“සම්පූර්ණ ක්‍රීඩා වාරය ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. අපි අවධානයෙන් සිටින්නේ හැම පන්දුවක් සහ සෑම ඕවරයක් ගැන යි” ජාත්‍යන්තර T20 තරග 152ක පළපුරුද්දක් ඇති 37 හැවිරිදි ආරම්භක පිතිකරුවා සඳහන් කරනවා. “විස්සයි20 තරගයක් සෑම ඕවරයකින් පසුව වෙනස් වෙනවා. ඒ නිසා, තරගය දිනන්න නම් අපි හැම ඕවරයක්ම දිනන්න ඕන. අද අපි හොඳ ප්‍රතිඵලයක් ලබා ගනු ඇතැයි මට විශ්වාසයි.
තරගය පැවැත්වෙන නසාවු ක්‍රීඩාංගණයට පිටතින් ගෙනැවිත් සවි කරනු ලැබූ තණතීරුව වැනි තණතීරු පිළිබඳව තමාට පැහැදිළි අවබෝධයක් නැතැයි රෝහිත් ෂර්මා කියනවා.
රෝහිත් ෂර්මා
“නසාවු තණතීරුව ගැන එය සකස් කළ අය ඉන්නේත් අවුලෙන්. එතකොට හිතලා බලන්න අපේ අදහස් මොනවා වේවිද කියලා.”
තණතීරුව කුමන ආකාරයෙන් හැසිරුන ද තම කණ්ඩායම ඔවුන්ගේ සැලැස්මට අනුව ක්‍රීඩා කරන බව ඉන්දියා ක්‍රිකට් නායකයා කියා සිටියා.
විස්සයි20 ජාත්‍යන්තර තරග 118කින් 51.11ක විශිෂ්ට ලකුණු සාමාන්‍යයක් වාර්තා කර සිටින සුපිරි පිතිකරු විරාට් කෝලි පිළිබඳව විමසූ විට නායකයා පෙන්වා දුන්නේ තමා එක් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩකයන් දෙදෙනෙක් මත පමණක් විශ්වාසය තබන්නේ නැති බව. “විරාට් ප්‍රධානතම ක්‍රීඩකයෙක්. ඔහු ලොකු තරගවල තීරණාත්මක ක්‍රීඩකයෙක් බවට කිසිම සැකයක් නැහැ. නමුත් හැමෝම දායක විය යුතුයි. හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කර ලකුණු දෙකක් තහවුරු කර ගැනීමේ වගකීම සියළු දෙනා මත පැවරී තියෙනවා.”
2022 T20 ආසියානු කුසලානය හා 2021 ලෝක කුසලානයේදී පාකිස්තානය හමුවේ ලැබූ පරාජයන් නිසා කිසිම පීඩනයක් තම කණ්ඩායමට ඇතිවී නැති බව කියන රෝහිත් ෂර්මා තමා තීරණ ගන්නේ ඒ අවස්ථාවට ගැළපෙන අයුරින් බව ප්‍රකාශ කරනවා.
“පසුගිය 2022 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම විසින් පාකිස්තානය පරාජය කළා. නමුත් ඔවුන් සාර්ථකව නැවත නැගිටිමින් අවසාන තරගයට පැමිණි බව අමතක නොකළ යුතුයි!”
නියම සමබරතාවෙන් යුතුව පිතිකරණයේ යෙදෙන අතරතුර ප්‍රතිවාදී පන්දු යවන්නන් පීඩනයකට හසුකර ගැනීම තම අවශ්‍යතාව බව මේ ආක්‍රමණශීලී පිතිකරුවා අවධාරණය කරනවා.
“අපි ක්‍රීඩා කරන්නේ පිතිකරුවන් අට දෙනෙක් එක්කයි. ඒ නිසා ඉක්මනින් ලකුණු රැස් කිරීමට අපි ආක්‍රමණශීලීව පිතිහරඹයේ යෙදෙනවා.”
අමෙරිකාව වෙතින් පාකිස්තානය ලැබූ පරාජය පිළිබඳව ඉන්දියා නායකයා පවසන්නේ, විස්සයි20 ක්‍රිකට් ක්‍රමවේදය තුළ ඕනෑම දෙයක් සිදුවිය හැකි බව.
“පසුගිය 2022 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම විසින් පාකිස්තානය පරාජය කළා. නමුත් ඔවුන් සාර්ථකව නැවත නැගිටිමින් අවසාන තරගයට පැමිණි බව අමතක නොකළ යුතුයි!”
අද තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.00 ට.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






