ගාසා තීරයේ පැවැත්වෙන යුද්ධය මධ්‍යයේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ අපේක්ෂාවෙන් සිටින පලස්තීනුවන්
ජගත් ඔලිම්පික් කමිටුවේ අභිමතය පරිදි තරගවලට සහභාගි විය හැකි ‘වයිල්ඩ්කාඩ්ස්’ තමන්ට ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන් පසුවන බව පලස්තීන ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා.
එක් පලස්තීන ටයිකොන්ඩෝ ක්‍රීඩකයෙක් ඔහුගේ දක්ෂකමෙන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා සිටින අතර අනෙක් ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රීඩාවන් සඳහා ජගත් ඔලිම්පික් කමිටුව විසින් නියම කර තිබෙන සුදුසුකම් මට්ටමට ළඟාවී ‘වයිල්ඩ්කාඩ්’ සඳහා ප්‍රමුඛතාව අත්කර ගැනීමට පුහුණු වෙමින් සිටිනවා.
‘වයිල්ඩ්කාඩ්’ යනු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලොව සියළුම ජාතික ඔලිම්පික් කමිටුවල නියෝජනයක් සඳහා වන ජගත් ඔලිම්පික් කමිටුවේ ගෝලීය නීතියේ කොටසක්.

“ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් දැනටමත් සුදුසුකම් ලබා ගත් එක් ක්‍රීඩකයෙක් අපට ඉන්නවා” පලස්තීන ඔලිම්පික් කමිටුවේ සභාපති Jibril Rajoub සඳහන් කරනවා. “අපි අවම වශයෙන් ක්‍රීඩකයන් 6-8 ප්‍රමාණයක් ඔලිම්පික් යවන්න උත්සාහ කරනවා.”
මෙයින් ක්‍රීඩකයන් තිදෙනෙක් ගාසා තීරයෙන් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් කාන්තාවක් හෝ කාන්තාවන් දෙදෙනෙක් ඊට ඇතුළත් වන බවත් ඔහු කියා සිටිනවා.
“අපට ජූඩෝ, බොක්සිං, බරඉසිලීම හා පිහිනුම් ක්‍රීඩාවලිනුත් ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන් සියළු දෙනා ම දැන් ඉන්නේ පලස්තීනයෙන් පිට. ඔවුන්, අපව ආගන්තුකයින් ලෙස බාර ගත් ලෝකය වටේ සමහර රටවල පුහුණු වෙමින් සිටිනවා.”
2023 ඔක්තෝබරයේ යුද්ධය ආරම්භ වූ තැන් පටන් මේ දක්වා ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා ක්‍රීඩා නිලධාරීන් 300කට වැඩි ප්‍රමාණයක් මරා දමා ඇති බවත් ගාසා හි සියළුම ක්‍රීඩා පහසුකම් විනාශ වී ඇති බවත් Rajoub පවසනවා.
“ගඩොල් කැබලි යට තවත් සිය ගණනක් ද, බලෙන් අත්පත් කරගත් ප්‍රදේශවල සුන්බුන් යට තවත් සිය ගණන් පුද්ගලයන්ගේ මලසිරුරු ද තියෙනවා. අනෙක් පාර්ශවය විසින් අපව පීඩාවට පත්කර තිබෙනවා. සියඵම පලස්තීනුවන් මේ මර්දනයට හසුවී සිටිනවා.”
කුවේට්, කටාර්, ලිබියාව හා ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් ඔවුන්ගේ රටවල පුහුණු වීම සඳහා පලස්තීන ක්‍රීඩකයන්ට සහාය ලබා දී ඇතැයි Rajoub සඳහන් කරනවා.
“පැරිසියේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අපි සහභාගි වනවා. මේ මවිත කරන ගෝලීය ක්‍රීඩා ඉසව්වේ අපි පලස්තීනය නියෝජනය කරනවා!”
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






