leader s

සාර්ථක නායකයා යනු තනි අලියෙක් වීම නොවේ, කුහුඹු රෑණකට නිසි තැනට පාර පෙන්නන තවත් කුහුඹුවෙක් වීමයි.


Ireshan Siriwardhana ගේ මේ ලිපිය බලන්න.


ස්පාඤ්ඤයට ජය ගෙන එමින් යූරෝ කුසලාන පාපන්දු තරගාවලිය අවසන් වුණා.

ජයග්‍රාහී ස්පාඤ්ඤ කණ්ඩායමේ බොහෝ අවදානය දිනූ සුපිරු තරුව වූයේ 17 හැවිරිදි නවක ක්‍රීඩක ලැමීන් යමාල්.

ලැමීන් යමාල්
ඔහු අත දරුවෙකු වූ සමයේ යුනිසෙෆ් සංවිධානයේ ප්‍රවර්ධන වැඩසටහනකට සුපිරි ක්‍රීඩක ලියො මෙසී සමග ලබා ගත් ඡායාරූප බොහෝ දෙනෙකු අතර කතාබහට ලක් වුණා.

ඔවුන් කියා සිටියේ ලැමීන් යමාල් කුඩා කාලයේ දී පාපන්දු ක්‍රීඩාවේ දෙවියන්ගෙන් ආශිර්වාද ලැබීම ඔහුගේ සාර්ථකත්වයට හේතුව බවයි.

 

තරුණ මෙසී හා අත දරුවෙකු වූ යමාල්
යුරෝපා මහද්වීපයේ පාපන්දු කිරුළ ස්පාඤ්ඤය දිනා ගනිද්දී, දකුණු ඇමෙරිකානු පාපන්දු කිරුළ වන කෝපා ඇමෙරිකානු කුසලානය ආර්ජන්ටිනාව විසින් දිනා ගත්තා.

මේ ඔවුන් පිට පිට දිනා ගත් දෙවැනි කෝපා ඇමෙරිකා ශූරතාවයයි. එමෙන්ම 2022 ලෝක කුසලානය ද ජයග්‍රහණය කළ ඔවුන්, අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර ශූරතා තුනම ජය ගැනීම විශේෂත්වයක්.


ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට ක්‍රීඩා කළේ කොලොම්බියා කණ්ඩායම සමගයි.

 


දකුණු ඇමෙරිකානු පාපන්දුව, ලෝකයේ වෙනත් කලාපයක ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩාවෙන් වෙනස්.

පාපන්දු අදහන, පාපන්දුව අයිති දකුණු ඇමෙරිකාවේ දී පාපන්දු ක්‍රීඩාව ජවසම්පන්නයි. එය රළුයි, දුෂ්කරයි.

ප්‍රතිවාදියා බිඳ හෙළීම සහ ඔහු දුර්වල කිරීම දකුණු ඇමෙරිකානු පාපන්දුවේ ප්‍රධාන උපක්‍රමයක්.

 

1200 675 21953403 614 21953403 1721016072184ආර්ජන්ටිනා නායක ලියොනෙල් මෙසී ගේ දකුණු පාදයට දැඩි පීඩනයක් යෙදෙනු දැකගත හැකි වුණා.
තරගයේ පළමු අර්ධයේ කොලොම්බියා කණ්ඩායමේ දකුණු පස ආරක්ෂකයා වන සැන්තියාගේ අරියාස් ගේ බාධා කිරීමකින්, ආර්ජන්ටිනා නායක ලියොනෙල් මෙසී ගේ දකුණු පාදයට දැඩි පීඩනයක් යෙදෙනු දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් මෙසී නැගී සිටියා. වේදනාව මැඩ ගනිමින් යළිත් ක්‍රීඩා කළා.

එනමුත් තරගයේ දෙවෙනි අර්ධයේ 64 වෙනි මිනිත්තුවේ දී ඔහු පිටියේ ඇද වැටුණා.

ඉන්පසුව ඔහු පිටියෙන් ඉවත්ව ගියා. ආර්ජන්ටිනා ක්‍රීඩක විවේකාගාරයේ සිටිමින් කඳුලු පිරි දෙනෙතින් තරගය දෙස බලා සිටියා.

 

messi ඔහුගේ දකුණු පාදය වලලුකර අසලින් දරුණු ලෙස ඉදිමී තිබෙනු දැකගත හැකි වුණා.
සිය කණ්ඩායමට තවත් කුසලානයක් දිනා දීම වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමේ මෙසී ගේ අභිප්‍රාය වන්නට ඇති.

එනමුත් ඔහුගේ දකුණු පාදය වලලුකර අසලින් දරුණු ලෙස ඉදිමී තිබෙනු දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් සිය නායකයා පිටියෙන් ඉවත් වීම ආර්ජන්ටිනා ක්‍රීඩකයන් කෝප ගැන්වූ සිදුවීමක් පමණක් වුණා.

එතැන් පටන් ඔවුන්ගේ ග්‍රහණය වැඩි වූවා මිසෙක ප්‍රතිවාදීන් බලාපොරොත්තූ වූ ලෙසින් ඔවුන් දුර්වල වූයේ නැහැ.

ඔවුන් සිය නායකයා වෙනුවෙන් උපරිමය ලබා දෙන කණ්ඩායමක්.

messi cryආර්ජන්ටිනා ක්‍රීඩක විවේකාගාරයේ සිටිමින් කඳුලු පිරි දෙනෙතින් තරගය දෙස බලා සිටියා.

අතිරේක කාලයේ 112 වෙනි මිනිත්තුවේ ආර්ජන්ටිනාවේ ලොටාරෝ මාර්ටිනෙස් විසින් ජයග්‍රාහී ගෝලය රැස් කළා.

එම ගෝලය නිර්මාණය කළ ලො චෙල්සො ජයග්‍රාහී ගෝලය සැමරීමට දිව ගියේ සිය සගයන් අසලට නොවෙයි.

ආර්ජන්ටිනා ක්‍රීඩක විවේකාගාරයේ සිටි නායක ලියෝ මෙසී අසලටයි.

ඔහු මෙසී වැලැඳ ගත්තා.

 

messi 2ආර්ජන්ටිනා ක්‍රීඩක විවේකාගාරයේ සිටි නායක ලියෝ මෙසී අසලටයි. ඔහු මෙසී වැලැඳ ගත්තා.
ආර්ජන්ටිනා කණ්ඩායම එතරම් ලියෝ මෙසී ට සමීප, ඔහු වෙනුවෙන් ක්‍රීඩා කරනා කණ්ඩායමක්.

2016 වසරේ සිට ලියොනෙල් මෙසී ගේ ක්‍රීඩා ජීවිතයේ කඩාවැටීමක් තිබුණා. එම වසරේ කෝපා ඇමෙරිකා අවසන් මහා තරගය ආර්ජන්ටිනාව පරාජය වුණා. ඒ සමගම බොහො දෙනෙකුගේ විවේචන එල්ල වූයේ ලියොනෙල් මෙසී දෙසටයි. බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් උපරිමය ලබා දෙන ඔහු, රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී දුර්වලයෙකු යැයි ඇතැමෙකු කීවා.

පාපන්දු උන්මාදයකින් පෙළෙන ආර්ජන්ටිනා ජනතාව සිටියේ සිය නායකයා පිළිබඳව එතරම් හිතේ සතුටකින් නොවෙයි.

ඉන්පෙර පැවති 2014 ලෝක කුසලාන අවසන් මහා තරගයත් ආර්ජන්ටිනාව පරාජය වුණා. ඒ සියල්ලෙහිම අවසන් වගකීම මෙසී මත පැටවුණා.

 

messi 1ඔහු ලොව දක්ෂතම ක්‍රීඩකයායි.

ඔහු ලොව දක්ෂතම ක්‍රීඩකයායි.

එනමුත් ඔහුට ආර්ජන්ටිනාව සමගින් කුසලානයක් ජය ගැනීමට නොහැකි වීමෙන් ඔහුගේ පක්ෂපාතීත්වය ප්‍රශ්න කෙරුණා.

කොතරම් විශිෂ්ටයෙකු වූවත් කණ්ඩායම් ක්‍රීඩාවක දී හුදෙකලා ක්‍රීඩකයෙකුට එහි ජය, පරාජය තනිව තීරණය කළ නොහැකි බව ඔවුන් නොසලකා හැරියා. දැඩි පීඩනය සහ විවේචන මැද මෙසී ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමෙන් සමුගැනීමට පවා උත්සාහ කළා.

කෙසේ වෙතත් අවසානයේ එම තීරණය වෙනස් කෙරුණා.

2018 ලෝක කුසලානයත් ආර්ජන්ටිනාව පරාජය වුණා. මේ කාලය ආර්ජන්ටිනාවට එතරම් සුබ වූයේ නැහැ. ඔවුන් දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් සිටියා. එරට ජාතික පාපන්දු කණ්ඩායමට පවා මේ ඉරණමෙන් ගැලවීමට නොහැකි වුණා.

ආර්ජන්ටිනාව දුප්පත් වූවත් ලියෝ මෙසි ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයෙක්.

 

liyanal messiනවක, තරුණ ක්‍රීඩකයන් මෙසී ට බොහෝ ගරු කළා. ඒ සඳහා හේතු වූයේ ඔහුගේ දක්ෂතාවය, ලොව හොඳම ක්‍රීඩකයා වීම පමණක් නොවෙයි. ඔහුගේ නිහතමානී හැසිරීම, මානුෂීය ගුණාංග සියල්ල යි
මේ සමයේ ඔහු හොර රහසේම ක්‍රීඩකයන්ගේ සහ සේවකයන්ගේ වැටුප් ගෙවමින් කණ්ඩායම නඩත්තු කළා.

ඒ ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩාවේ සංක්‍රාන්ති සමයක්. එම කාලයේ නවක, යොවුන් ක්‍රීඩකයන් සමග අලුත් ආර්ජන්ටිනා කණ්ඩායමක් ගොඩනැගෙමින් තිබුණා. මේ නවක, තරුණ ක්‍රීඩකයන් මෙසී ට බොහෝ ගරු කළා. ඒ සඳහා හේතු වූයේ ඔහුගේ දක්ෂතාවය සහ ලොව හොඳම ක්‍රීඩකයා වීම පමණක් නොවෙයි. ඔහුගේ නිහතමානී හැසිරීම, මානුෂීය ගුණාංග සියල්ල ඊට හේතු වුණා.


තරුණ ක්‍රීඩකයන්ට පවා ක්‍රීඩා විවේකාගාරයේ දී මෙසී ගරු කළා. ඔවුන්ගේ හඬට ඉඩ දුන්නා. පිටියේදීත්, ඉන්පසුවත් ඔවුන් රැකගත්තා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගැන පවා සොයා බැලුවා.

ඒවා හුදෙක් ව්‍යාජ රංගන නොවෙයි. හදපතුලෙන්ම පැමිණි ගුණාංගයි.

කොටින්ම ඒ ලියොනෙල් මෙසී ගේ සාමාන්‍ය චරිත ලක්ෂණයි.

 

a3175037 b1aa 4c40 9584 50e508deb1c6 1aaf3201ලොව ධනවත්ම සහ ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා වූ නමුත්, ඔහුගේ කුඩා කල පෙම්වතිය සමග විවාහ වී එකම කාන්තාවක් සමග ජීවිතය බෙදා ගන්නා මෙසී
ලොව ධනවත්ම සහ ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා වූ නමුත්, ඔහුගේ කුඩා කල පෙම්වතිය සමග විවාහ වී එකම කාන්තාවක් සමග ජීවිතය බෙදා ගන්නා මෙසී, එවැනි පක්ෂපාතී සහ උතුම් මානව ගුණාංග පිරුණු පෞරුෂයක්.

මුදල් නිසා හෝ අසමසම දක්ෂතාවය නිසා ඔහුගේ නිහතමානී ගුණාංග පලා ගියේ නැහැ.

අවසානයේ මෙසී වෙනුවෙන් ජීවිතයම පරදුවට තබා හෝ ක්‍රීඩා කිරීමට සුදානම් ආර්ජන්ටිනා කණ්ඩායමක් ගොඩනැගුණා. කලෙක පටන් ආර්ජන්ටිනාව යනු මෙසී තනිව ඔසවා ගෙන පැමිණි කණ්ඩායමක්. අවසානයේ මෙසීගෙන් එම වගකීම බෙදා ගැනීමට හැකි, ඔහු මතම නොයැපී, ඔහු වෙනුවෙන් යුද්ධයට යාමට පවා සුදානම් ක්‍රීඩකයන්ගෙන් පිරි කණ්ඩායමක් ගොඩනැගුණා.

එතැන් පටන් ඔවුන් නියම සටන්කාමී, දකුණු ඇමෙරිකානු ෆුට්බෝල් ක්‍රීඩා කළා.

 



එහි ප්‍රතිඵලයක් ලෙස මෙසී ගේ නායකත්වයෙන් එම ආර්ජන්ටිනා කණ්ඩායම 2021 කෝපා ඇමෙරිකා කුසලානය ජය ගත්තා.

ඒ සිය පරම ප්‍රතිවාදීයා වූ බ්‍රසීලය ඔවුන්ගේ මවුරටේදීම පරාජය කරමින්.

ඉන්පසුව යුරෝපීය පාපන්දු ශූරයන් වූ ඉතාලිය පරාජය කරමින් ෆයිනැලිස්මා කුසලානය ජය ගත්තා.

ඔවුන්ගේ ජයග්‍රහණ මාලාව එතැනින් අවසන් වූයේ නැහැ. එම සියලූම ජයග්‍රහණ ද අභිබවමින් පාපන්දු ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම තිළිණය වන ලෝක කුසලානය 2022 වසරේ කටාර් හී දි ජයග්‍රහණය කිරීමට මේ කණ්ඩායම සමත් වුණා.

එම ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රහණයට රහස වූයේ කණ්ඩායම් හැඟීම සහ සහෝදරත්වයයි.

එම කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුම ලියොනෙල් මෙසී ට ලෝක කුසලානයක් දිනා දීම වෙනුවෙන් සිය අවසන් හුස්ම දක්වා සටන් කළා.

 

world cupඅද ඔවුන් ජයග්‍රහණය කළේ දෙවෙනි කෝපා ඇමෙරිකා කුසලානයයි.
අද ඔවුන් ජයග්‍රහණය කළේ දෙවෙනි කෝපා ඇමෙරිකා කුසලානයයි.

අද තරගයේ ජයග්‍රාහී ගෝලය රැස් කළ ලෝටාරෝ මාර්ටිනෙස් තරගය අවසානයේ තමන් ගෝලය රැස් කළේ මෙසී වෙනුවෙන් බව කීවා.

තමන් දුර්වල වූ සමයේ මෙසී තමන් වෙනුවෙන් පෙනී සිටි බවත්, එයට ප්‍රති උපකාර කිරීමට තමන්ට අවශ්‍ය වූ බවත් තරගයෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කළා.

ආර්ජන්ටිනා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙක් වන, 2008 වසරේ සිට මෙසී සමග ක්‍රීඩා කළ ආන්හෙල් ඩී මරියා අද සිය සමුගැන්ම ප්‍රකාශ කළා.

ඔහු ප්‍රකාශ කළේ මෙසී ආබාධයට ලක් වූ මොහොතේ තමන් දැඩිව කම්පාවට පත් වූ බවත්, තරගය ඔහු වෙනුවෙන් ජය ගැනීමට අවශ්‍ය වූ බවත් ය.

ආර්ජන්ටිනාව එවැනි කණ්ඩායමක්.

ජයග්‍රාහී කණ්ඩායමේ එන්සෝ ෆර්නෑන්ඩස් ද මාධ්‍ය ඇමතුවා.

 

angel di maria argentina national team transferආර්ජන්ටිනා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙක් වන, 2008 වසරේ සිට මෙසී සමග ක්‍රීඩා කළ ආන්හෙල් ඩී මරියා
එහිදී මාධ්‍ය ඔහුගෙන් ප්‍රශ්න කළේ ඩී මරියා මෙන්ම මෙසී ද ජාතික කණ්ඩායමෙන් සමුගැනීමට සුදානම් ද යන්නයි.

එන්සෝ ගේ මුහුණෙන් ජයග්‍රාහී සිනහව වියැකී ගියා.

'මෙසී ජාතික කණ්ඩායමෙන් සමු ගන්න ? ඒ ගැන හිතන්නවත් එපා. අප හැර දා යාමට අප ඔහුට ඉඩ තබන්නේ නැහැ.' එන්සෝ එලෙස පිළිතුරු දුන්නා.

තරගාවලියේ ආර්ජන්ටිනාවේ වීරයා වූයේ ගෝල රකින ක්‍රීඩක එමීලියානෝ මාර්ටිනෙස්.

ලෝක කුසලානයේදීත් ඔහු ආර්ජන්ටිනාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා.

සැබැවින්ම පාපන්දු ක්‍රීඩාවේ ගෝල රැස් කිරීමෙන් තරග ජය ගත හැකි වූවත්, ආරක්ෂා කිරීමෙන් තරගාවලි ජය ගත හැකි ය යන්න ප්‍රසිද්ධ කියමනක්.

ජයග්‍රහණයෙන් පසුව එමීලියානෝ ද මාධ්‍ය ඇමතුවා.

 

36a2afa0 f800 4b96 9fed 97a4b2e4e53a''මෙසී පසුපස සොල්දාදුවන් දහයක් සිටිනවා. ඔහු අපේ නායකයා. ඔහු වෙනුවෙන් අප ඕනෑ දෙයක් කිරීමට පසුබට වෙන්නේ නැහැ. දැන් ඔහු පාපන්දු ක්‍රීඩාවේ ජයග්‍රහණය කළ හැකි සියල්ල දිනා අවසන්.'' 
මෙසී පසුපස සොල්දාදුවන් දහයක් සිටිනවා. ඔහු අපේ නායකයා. ඔහු වෙනුවෙන් අප ඕනෑ දෙයක් කිරීමට පසුබට වෙන්නේ නැහැ. දැන් ඔහු පාපන්දු ක්‍රීඩාවේ ජයග්‍රහණය කළ හැකි සියල්ල දිනා අවසන්. තවදුරටත් ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය විවේචනය කිරීමට හෝ ප්‍රශ්න කිරීමට සුදානම් වන්නට එපා.

එමීලියානො මාර්ටිනෙස් සිය කතාව අවසන් කළේ මෙසී ගේ විවේචකයන්ට පණිවිඩයක් ද ලබා දෙමින්.

ආර්ජන්ටිනාවේ සාර්ථකත්වයට හේතුව මේ ක්‍රීඩකයන්ගේ හැසිරීම් වල සහ ප්‍රකාශයන් හි ලියැවී තිබෙනවා. ආර්ජන්ටිනා කණ්ඩායම තුල ඔවුන් ගොඩ නැගූ ශ්‍රේෂ්ඨ පෞරුෂයක් සිටිනවා. ඒ ඔවුන්ගේ නායකයා. දැන් ඔවුන් සිය නායකයා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. මේ ඔවුන්ගේ කළගුණ දැක්වීමේ හෝරාවයි. ඔවුන් සිය නායකයා වෙනුවෙන් පිටියේදීත් ඉන්පිටතදීත් උපරිමය ලබා දීමට කැපවෙනවා.

කිසිසේත්ම පරාජය පිළිගැනීමට ඔවුන් සුදානම් නැහැ.

පසුගිය කාල සීමාව තුල තරග 65 කට ක්‍රීඩා කර තිබෙන ඔවුන්, පරාජය වී ඇත්තේ තරග 2 ක් පමණයි. එම කාලසීමාවේ දී ඔවුන් කුසලාන තුනක් ජය ගෙන තිබෙනවා. එය ඉතිහාසයේ ඕනෑම ජාතික කණ්ඩායමක් විසින් වාර්තා කළ විශිෂ්ටතම ජයග්‍රහණ මාලාවක්.

කෙසේ වෙතත් එතරම් විශිෂ්ඨ ජයග්‍රහණයන් ලබා තිබෙන ඔවුන් දක්ෂතා අතින් ලොව වෙනත් කණ්ඩායම් වලට වඩා විශාල වෙනසක් නැහැ.

නමුත් ලොව කිසිඳු කණ්ඩායමක් සතුව නැති යමක් ඔවුන් සතුව තිබෙනවා.

Screenshot 2024 07 10 at 10.55.07ලොව කිසිඳු කණ්ඩායමක් සතුව නැති යමක් ඔවුන් සතුව තිබෙනවා

ඒ සහෝදර බැඳීම සහ සිය නායකයා කෙරෙහි ඇති අප්‍රමාණ ගෞරවය සහ පක්ෂපාතීත්වයයි.


එම පක්ෂපාතීත්වය වෙනුවෙන් ඔවුන් ඕනෑම කෙරුමෙකු පරාජය කිරීමට සුදානම්.

එම පක්ෂපාතීත්වය වෙනුවෙන් ඔවුන් සයුර දෙකඩ කිරීමට හෝ එවරස්ට් තරණයට වුව සුදානම්.

වත්මන් ආර්ජන්ටිනා කණ්ඩායම පසුපස ඇති ශ්‍රේෂ්ඨත්වයේ සැබෑ රහස එයයි.

ireshan copy(ඉරේශාන් සිරිවර්ධන)
Ireshan Siriwardhana ගේ ෆේස්බුක් පිටුවෙන්..
2024. 07. 15

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්