සමෝවා රටේ ජාතික ක්‍රිකට් ක්‍රීඩක ඩාරියස් වීසෙ (Darius Visser) ලෝක ක්‍රිකට් වාර්තා අතරට එක්වෙමින් හයේ පහර හයක් සමග
ඕවරයකදී ලකුණු 39ක් රැස්කර තිබෙනවා.
මේ සමග ඔහු ජාත්‍යන්තර විස්සයි20 – T20 - තරගයක එක් ඕවරයකදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්වන්නේ ඉන්දියාවේ යුව්රාජ් සිං, බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමේ කීරන් පොලාඩ් සහ නේපාලයේ ඩිපෙන්ද්‍ර සිං අයිරී යන පිතිකරුවන් හයේ පහර හයක් සමග ලකුණු 36 බැගින් ලබා ගෙන පිහිටුවා තිබූ ලෝක වාර්තා බිඳ දමමින්.
වීසෙ එල්ල කළ හයේ පහර හයට අමතරව එම ඕවරයට තවත් ලකුණු තුනක් එකතු වූයේ නීතිවිරෝධී පන්දු (no balls) තුනකින්.
ඩාරියස් වීසෙගේ පිති ප්‍රහාරයට ලක්වූ අවාසනාවන්ත පන්දු යවන්නා වූයේ වැනිඋආටූ කණ්ඩායමේ නලින් නිපිකො (Nalin Nipiko).

වීසෙගේ මේ හපන්කම ප්‍රදර්ශනය වූයේ 2026 T20 ලෝක කුසලානය සඳහා නැගෙනහිර ආසියා - පැසිෆික් කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා සමෝවා හා වැනිඋආටූ අතර පැවති තරගයේදී.
වීසෙගේ දැවැන්ත හයේ පහරවල් නිසා බොහෝ අවස්ථාවල පන්දුව නැවත සොයා ගැනීමට සිදුවූයේ සමෝවා හි Apia’s Garden Oval No.2 ක්‍රීඩාංගණයේ පිටත ප්‍රදේශයෙන්.
සමෝවා කණ්ඩායම ජයග්‍රහණය කළ මේ තරගයේදී වීසෙ පන්දු 62කින් ලකුණු 132ක් ලබා ගත්තේ හයේ පහර 14ක් සහ හතරේ පහර 5ක් එල්ල කරමින්.
අංක 4 පිතිකරුවා ලෙස පිතිහරඹයේ යෙදෙමින් වීසෙ වාර්තා කළේ ඔහුගේ මංගල ජාත්‍යන්තර විස්සයි20 ශතකය. ඔහු ඕවරයක වැඩිම ලකුණු නව ලෝක වාර්තාව බිහිකළේ සමෝවා ඉනිමේ 15 වැනි ඕවරයේදී.
ඩාරියස් වීසෙගේ මංගල ජාත්‍යන්තර විස්සයි20 තරගය වූයේ මීළඟ T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕෂනියානු රටවලින් (Oceanian Nations) සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් තෝරා ගැනීමේ තරගාවලිය ආරම්භ කරමින් ෆිජි දූපත් කණ්ඩායම සමග පැවති තරගය. සමෝවා කණ්ඩායමේ ඒ ආරම්භක තරගයේදී ඔහු ලකුණු 11කට කඩුලු 4ක් ලබා ගෙන පිත්තෙන් ද ලකුණු 30ක් නොදැවී රැස්කළේ එම තරගයේ වීරයා බවට පත්වෙමින්.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හැදී වැඩුනු වීසෙ ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ පෙන්රිත් ක්‍රිකට් සමාජයේ වේග පන්දු යවන්නෙකු හා අංක 11 පිතිකරුවෙකු ලෙස.
එහෙත් දිගටම ආබාධවලට ලක්වීම ඔහුගේ වේග පන්දු යැවීමේ හැකියාවට බාධාවක් වුනා. මේ හේතුවෙන් පා දඟ පන්දු යවන්නෙකු බවට පත්වීමට ඩාරියස් වීසෙ ට සිදුවූ අතර ඒ සමග ම සිය පිතිකරණය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කිරීමට ඔහු තුළ උනන්දුවක් ඇතිවුනා.
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවට දැන් පත්ව සිටින වීසෙ සිඩ්නි ක්‍රිකට් තරගාවලියේදී සිඩ්නි සරසවිය හා සාන්ත ජෝජ් කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.
මීට සිවු මසකට පෙර ඩාරියස් වීසෙ සිටියේ සිඩ්නි ක්‍රීඩා සමාජයක ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින්.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ සිය පැරණි සිහිනය සැබෑ කර ගැනීමට සිතූ ඔහු ඒ සඳහා සිය මවගේ සමෝවා උරුමය පාවිච්චි කිරීමට තීරණය කළා.
ඒ අනුව ඩාරියස් වීසෙ 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය ආරම්භ වීමට මොහොතකට පෙර සමෝවා කණ්ඩායම සමග පරීක්ෂණ තරගවලට සහභාගි වී එම කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගත්තා.
*ඕවරයකට වැඩිම ලකුණු:
39 - ඩාරියස් වීසෙ (සමෝවා) වැනිඋආටූ ට එරෙහිව 2024
36 - යුව්රාජ් සිං (ඉන්දියාව) එංගලන්තය ට එරෙහිව 2007
36 - කීරන් පොලාඩ් (බටහිර ඉන්දිය කොදෙව් දූපත්) ශ්‍රී ලංකාව ට එරෙහිව 2021
36 - රෝහිත් ෂර්මා/රින්කු සිං (ඉන්දියාව) ඇෆ්ගනිස්තානය ට එරෙහිව 2024
36 - ඩිපෙන්ද්‍ර සිං අයිරී (නේපාලය) කටාර් ට එරෙහිව 2024
36 - නිකලස් පූරාන් (බටහිර ඉන්දීය කොදෙව්) ඇෆ්ගනිස්තානය ට එරෙහිව 2024
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






