පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් කාන්තා තරගයේ අමෙරිකානු ක්‍රීඩිකාවට පිරිනැමූ ලෝකඩ පදක්කම අහෝසි කර එය රුමේනියානු ක්‍රීඩිකාවට ලබා දී තිබෙනවා.
අමෙරිකාවේ 23 හැවිරිදි ජෝඩන් චයිල්ස් (Jordan Chiles) ජිම්නාස්ටික් floor exercise ඉසව්වේදී ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. ඇය මුලින් ලකුණු 13.666ක් ලබා ගත්තේ පස්වැනි ස්ථානය සඳහා. නමුත් ඇගේ පුහුණුකාරිනිය වන සිසිල් ලන්ඩි (Cecile Landi) විසින් එම ලකුණු සංඛ්‍යාව පිළිබඳව අභියෝග කිරීමෙන් පසුව චයිල්ස් ට අමතර ලකුණු 0.10ක් පිරිනැමීම හේතුවෙන් ඇයගේ ලකුණු ප්‍රමාණය 13.766 දක්වා ඉහළ ගියා.
අමෙරිකාවේ 23 හැවිරිදි ජෝඩන් චයිල්ස් (Jordan Chiles) ජිම්නාස්ටික් floor exercise ඉසව්වේදී ලෝකඩ පදක්කම හිමිකර ගත්තා
මේ ලකුණු ප්‍රමාණයත් සමග අමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව පැරිස් ඔලිම්පික් පදක්කම් පිරිනැමීමේ උත්සවයේදී ලෝකඩ පදක්කම ලබා ගත්තේ අනා බර්බොසු (Ana Barbosu) හා සබ්රිනා වොයීන (Sabrina Voinea) යන රුමේනියානු ක්‍රීඩිකාවන් අභිභවා යමින්. මේ ක්‍රීඩිකාවන් දෙදෙනා ම ලකුණු 13.700 බැගින් ලබා ගෙන සිටි අතර බර්බොසු වඩාත් ඉහළ ස්ථානයක තබා තිබුනේ උසස් අසීරු ලකුණ සංඛ්‍යාවක් රැස්කර ගෙන සිටීම මත.
ඇය මුලින් ලකුණු 13.666ක් ලබා ගත්තේ පස්වැනි ස්ථානය සඳහා
කෙසේ වෙතත්, මෙයින් මතභේදයක් ආරම්භ වුනේ රුමේනියානු ඔලිම්පික් හා ක්‍රීඩා කමිටුව විසින් මේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ‘ක්‍රීඩාව සඳහා වන බේරුම්කාර උසාවිය’ට (CAS) ඇපෑලක් ඉදිරිපත් කිරීම නිසා. අනතුරුව කෙරුනු පරීක්ෂණයේදී CAS විසින් සොයා ගනු ලැබුවේ ලන්ඩි පුහුණුකාරිනියගේ අභියෝගය පැමිණියේ මිනිත්තුවේ අවසාන කාලසීමාවෙන් තත්පර හතරකට පසුව බව. ඒ අනුව චයිල්ස් ට ලබා දී තිබූ අමතර ලකුණු ප්‍රමාණය අවලංගු කෙරුනා.
ජගත් ඔලිම්පික් කමිටුව (IOC) ද එය අනුගමණය කරමින් ලෝකඩ පදක්කම නැවත බාර දෙන ලෙසට චයිල්ස් ට නියෝග කළා.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මුලින් වාර්තා වූ ලකුණු ආපසු ගෙන ආ යුතු බවට CAS තීරණය කළා. ඒ අනුව බර්බොසු තෙවැනි ස්ථානයටත්, වොයීන සිවුවැනි ස්ථානයටත්, චයිල්ස් පස්වැනි ස්ථානයටත් පත්වුනා. ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනය මේ තීරණයට අවනත වූ අතර ජගත් ඔලිම්පික් කමිටුව (IOC) ද එය අනුගමණය කරමින් ලෝකඩ පදක්කම නැවත බාර දෙන ලෙසට චයිල්ස් ට නියෝග කළා.
ලෝකඩ පදක්කම ලබා ගැනීමට බර්බොසු ට අයිතිය තිබෙනවා
අමෙරිකානු ජිම්නාස්ටික් බලධාරීන් මේ තීරණය පිළිබඳව CAS වෙත ඇපෑලක් ඉදිරිපත් කළ ද, අවසාන තීන්දුවක් ලබා දී තිබෙන නඩුවක් නැවත විවෘත කිරීම තවදුරටත් කළ නොහැකි බව ඔවුන් දන්වා සිටියා. මේ හේතුවෙන්, CAS වැනි අධිකරණ විසින් දෙනු ලැබූ තීන්දුවලට කරන අභියාචනයන් බාර ගන්නා ස්විස් ෆෙඩරල් අධිකරණය වෙත මේ නඩුව ඉදිරිපත් කිරීමට අමෙරිකානු ජිම්නාස්ටික් සංගමය දැන් සැලසුම් කර තිබෙනවා.
මේ කාරණාව සම්බන්ධයෙන් අමෙරිකානු ජිම්නාස්ටික් බලධාරීන් තවමත් කටයුතු කරමින් තිබියදීත්, රුමේනියාවේ අගනුවර වන Bucharest හි පැවති උත්සවයකදී බර්බොසු ට ලෝකඩ පදක්කමක් ප්‍රදානය කෙරුනා. චයිල්ස් තවමත් ඇයගේ පදක්කම රඳවා ගෙන සිටින බැවින් බර්බොසු ට පිරිනමනු ලැබුවේ අලුත් පදක්කමක්.
රුමේනියාවේ අගනුවර වන Bucharest හි පැවති උත්සවයකදී බර්බොසු ට ලෝකඩ පදක්කමක් ප්‍රදානය කෙරුනා.
අමෙරිකාව හා චයිල්ස්ගේ කඳවුර දිගටම අභියාචනය කරමින් සිටියදීත් බර්බොසු ට පදක්කම ලබා දීම පිළිබඳව පැහැදිලි කරමින් IOCය කියා සිටියේ, වර්තමාන තත්ත්වය මධ්‍යයේත් CAS තීන්දුව දැනටමත් බලාත්මක බව යි.
“ස්විස් ෆෙඩරල් අධිකරණයේ කරන අභියෝගයකට තවමත් අවස්ථාව තිබුන ද, CAS තීන්දුව වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මකයි. ඒ අනුව ලෝකඩ පදක්කම ලබා ගැනීමට බර්බොසු ට අයිතිය තිබෙනවා” යනුවෙන් IOCය ප්‍රකාශ කළා.
අනා බර්බොසු ට ඇගේ පදක්කම ලැබීමෙන් පසුව මේ මතභේදය දැන් තවත් සංකීර්ණ වී තිබෙන බව නම් ඉතාම පැහැදිලියි.
ස්විස් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කරන අභියාචනයේදී අමෙරිකානු ජිම්නාස්ටික් බලධාරීන් සාර්ථක වනු ඇත්ද යන්න ඉදිරියේදී දැක ගැනීමට හැකිවේවි. නමුත් අනා බර්බොසු ට ඇගේ පදක්කම ලැබීමෙන් පසුව මේ මතභේදය දැන් තවත් සංකීර්ණ වී තිබෙන බව නම් ඉතාම පැහැදිලියි.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






