ගමේ මිතුරන් සමග එක්ව ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රසවත් කෙටි ආහාරයක් සමග එංගලන්තයේ ඉස්තරම් තේ පානය කරමින්
හා සවසට ‘බාබකිවු’ කෑම රස විඳිමින්. ඔහුගේ කණ්ඩායමේ සගයන් වන්නේ උණු දිය නාන බාල්දි විකුණන්නන්, වෑල්ඩිංකරුවන් හා බඩු බාර දෙන රියදුරන්. කෙසේ වෙතත්, ඔහු කෙනෙකුගේ මනසේ ඇඳෙන සාමාන්‍ය ගමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් නෙවෙයි.
කලක් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටිකුරු කරමින් පහළොස් වසරක් පුරා තරග පිටිය වර්ණවත් කළ කුමාර් සංගක්කාරගේ ජීවිතය දැන් ගෙවෙන්නේ මේ ආකාරයෙන්.
එංගලන්තයේ ඩෝසෙට් ප්‍රාන්තයේ උතුරු දෙසින් පිහිටි ෂිලිංස්ටන් (Shillingstone) කෙනෙකු අපේක්ෂා කරන අන්දමේ නිසල ගම්මානයක්. බ්ලෑන්ඩ්ෆර්ඩ් වනාන්තරය මාඉමේ ස්ටෝ ගංගාව අසල තිබෙන මේ ගම සන්සුන් බවෙන් යුත් ස්වර්ගයක්. නමුත් මේ ගිම්හානයේ ඒ ගමේ නිහැඬියාව බිඳී තිබෙන්නේ ක්‍රිකට් තරග බිමෙන් සමුගත් දන්නා හඳුනන මුහුණක් නැවත ක්‍රීඩාවට අවතීරණව සිටින බැවින්.

ශ්‍රී ලංකා වමත් පිතිකරුවා ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනියට වැඩිම ලකුණු ලබා ගෙන ක්‍රිකට් පුරාවෘත්තයක් බවට පත්වූයේ ඔහුගේ පරම්පරාවේ සිටි වඩාත්ම භයානක වේග පන්දු යවන්නන් හා වැඩියෙන්ම කපටි දඟ පන්දු යවන්නන් මෙල්ල කරමින්. පාකිස්තානයේ ලාහෝරයේ සිට එංගලන්තයේ ලෝඩ්ස් පිටිය දක්වා ලෝකය පුරා ටෙස්ට් ශතක 38ක් සංගක්කාර වාර්තා කර තිබෙනවා.
ඩෝසෙට් ක්‍රිකට් ලීගයේ තෙවැනි කොටසේ ක්‍රීඩා කරන ෂිලිංස්ටන් ක්‍රිකට් සමාජයට මේ ග්‍රීෂ්ම සෘතුවේ එක්වීමෙන් කුමාර් සංගක්කාර ලබන්නේ අලුත්ම මාදිලියේ අත්දැකීමක්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 28,000ක් ලබා ගෙන ඇති සංගක්කාර ට ලකුණු ලබා ගැනීම සඳහා දැන් ලැබී තිබෙන්නේ වෙනස් ම වටපිටාවක්. ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩා පිටිය වී තිබෙන්නේ ගමේ කවුන්සලයට අයත් විනෝද ක්‍රියා පිට්ටනිය. එය පිහිටා තිබෙන්නේ ‘සංගා’ ජීවත් වන ස්ථානයේ සිට සැතපුම් කිහිපයක් දුරින්. ගමේ පාපන්දු හා ටෙනිස් සමාජ ද භාවිතා කරන්නේ මේ ක්‍රීඩා පිටිය යි.
තරග නරඹන්නන් වනුයේ සාමාන්‍යයෙන් සෙනසුරාදා සවස ව්‍යායාමයට ඇවිදින අතළොස්සක්. නමුත් සංගක්කාර ටවුමේ සිටින විට එය වෙනස් වනවා. ඔහු ක්‍රීඩා කරනු දැක බලා ගැනීම පිණිස නොයෙකුත් පළාත්වල සිට ක්‍රීඩා ලෝලීන් පැමිණෙනවා.
“මගේ ළමයින් පාසල් යන ෂිලිංස්ටන් ගම්මානය අවට පෙදෙසේ ජීවත් වන, මම දිගු කලක් තිස්සේ දන්නා හඳුනන යහළුවන් සෑහෙන පිරිසක් මට ඉන්නවා. ‘ඔබ ඇවිත් සෙල්ලම් කරන්න ඔ්න’ කියල ඔවුන් මට නිතර නිතර කියනවා. මම ඉතිං ගිහිං තරග කිහිපයකට ක්‍රීඩා කළා” යනුවෙන් සංගක්කාර පවසනවා.
ඔහු දැනට තරග හතක් ක්‍රීඩා කර තිබෙන්නේ ‘අයි.පී.එල්.’ පුහුණු කටයුතු හා තරග විස්තර ප්‍රචාරක වගකීම් අතරතුර ලැබෙන නිවාඩුවේදී.
විශිෂ්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කිහිපයකට ම නායකත්වය දුන් කුමාර් සංගක්කාර 2015 වසරේ ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමෙන් පසුව එංගලන්තයේ MCC සමාජයේ සභාපති ලෙස ද කාලයක් කටයුතු කළා.
ඔහු ෂිලිංස්ටන් පිළිබඳව කතා කරන්නේ ඉතාමත් සතුටින්.
“මම හිතන්නේ මෙය ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දෙයක් නෙවෙයි. මෙය වැඩියෙන්ම සහෝදරත්වය පිළිබඳ කාරණයක්” යැයි සංගක්කාර කියනවා. “එංගලන්තයේදී සෑම වයසකම අය ක්‍රිකට් ක්‍රීඩාව වැළඳ ගන්නා අයුරු චමත්කාරජනකයි. ගමේ වගේම ජාත්‍යන්තර මට්ටමෙනුත් ඔ්නෑම තරාතිරමේ සෑම කෙනෙක් තුළ ම ක්‍රිකට් ගැන තිබෙන්නේ මහත් උද්යෝගයක්.”
“අවුරුදු දහඅටේ අය අවුරුදු පනහේ අයත් එක්ක සෙල්ලම් කරනවා. මේ සියළු දෙනාම ක්‍රීඩාව සමග බැඳී සිටින්නේ අපූරු අන්දමට. ක්‍රිකට්වලට ඔවුන් තුළ තිබෙන ආදරය හා අගැයීම විශ්වාස කිරීමට අමාරු යි.”

“නියම බාබකිවු පාටිත් තියෙනවා. හවසට අවන්හලට ගිහින් තේරුමක් නැති විහිළු කතා කියනවා. මෙහෙ මිනිස්සු ඔවුන්ගේ ගිම්හානය භුක්ති විඳින්නේ එහෙමයි.”
මෙහි තරගවලදී සංගක්කාර බොහෝ ලකුණු ලබා ගෙන සිටීම පුදුමයක් නෙවෙයි. ඔහු ලකුණු 359ක් රැස්කර තිබෙන්නේ 51කට වැඩි සාමාන්‍යකින් යුතුව. ඔහුගේ එක් ශතකයක් වාර්තා වූයේ ජූනි මස අග පැවති Abbotsbury කණ්ඩායමට එරෙහි තරගයේ. එහිදී ඔහු පන්දු 95කින් ලකුණු 126ක් රැස්කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 15ක් සමග.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අංක 3 පිතිකරුවා වූ කුමාර් සංගක්කාර ෂිලිංස්ටන් වෙනුවෙන් පිතිකරණයේ යෙදෙන්නේ අංක 5 ස්ථානයේ. පැහැදිලිවම ජාත්‍යන්තර සාර්ථකත්වය ගම් මට්ටමේදී එතරම් සැලකෙන්නේ නැහැ. “අලුත් පන්දුවට එරෙහිව ඔවුන් මාව ආරක්ෂා කරනවා” යනුවෙන් ‘සංගා’ විහිළු කරනවා.
අතිදක්ෂ කඩුලු රකින්නෙකු ලෙස සංගක්කාර ප්‍රසිද්ධව සිටිය ද වර්තමාන තරග බිමේ ඔහු පිට-දඟ පන්දු යවමින් කඩුලු 15ක් ලබා ගැනීමට සමත්ව සිටිනවා.
“ෂිලිංස්ටන් ක්‍රිකට් ක්‍රීඩකයන් තරගවල නියැලෙන්නේ ඉන් විනෝදයක් ද ලබා ගනිමින්. ප්‍රතිවාදී කණ්ඩායමට සත්කාරකත්වය දක්වමින් ඔවුන්ට හොඳ අත්දැකීමක් ලබා දීම ගැන ඔවුන් කල්පනා කරනවා. අපි හවස තේවලට ඔවුන්ට දෙන්නේ මොනවාද, අන්තිමට අපි බාබකිවු එකක් දෙනවද කියල ඔවුන් සිතනවා. මේ සියල්ල ඔවුන් කරන්නේ සියළු දෙනාටම ක්‍රීඩා කරන්න පුළුවන් විනෝදජනක වාතාවරණයක් නිර්මාණය කරන්නයි. එය ක්‍රිකට් ක්‍රීඩාවට හා ප්‍රතිවාදී කණ්ඩායමට දක්වන විශේෂ ලක්ෂණයක්” සංගක්කාර කියනවා.
ගමේ වැසියන්ගේ හා ප්‍රතිවාදී කණ්ඩායම්වල ජනප්‍රිය චරිතයක් බවට ‘සංගා’ පත්ව සිටිනවා.
කුමාර් සංගක්කාරගේ පැමිණීම කණ්ඩායමට මහත් ගෞරවයක් හා වරප්‍රසාදයක් බව ෂිලිංස්ටන් නායක ක්‍රිස් කෝල් ප්‍රකාශ කරනවා. “මම ඔහුගේ නායකයා තමයි.
නමුත් තරග බිමේදී කවුරු කොහේද යන්නෙ කියල තීරණය කිරීම ඔහුට බාර දී තිබෙනවා. අපේ කණ්ඩායමේ සියළුම දෙනාට වඩා තරගය ගැන දැනුමක් ඔහුට තියෙනවා.”
“අපට ප්‍රධානම දේ තමයි අපි ක්‍රීඩා කළ ප්‍රතිවාදී කණ්ඩායම් සියල්ලම විවෘත දෑත්වලින් සංගක්කාරව පිළිගැනීම. ඔහු සමග තරග කිරීමට ලැබීම ගැන ඔවුන් සතුටු වෙනවා.”
“කුමාර් සංගක්කාර ඇත්තටම මගේ ගමේ කණ්ඩායමට ක්‍රීඩා කරනවාද? කියල හිතෙනකොට පිස්සු හැදෙනවා.”

සංගක්කාර ඔහුගේ අත් අපිරිසිදු කිරීමට ද බිය වන්නේ නැහැ. තණතීරුව පිළියෙල කිරීමට උපකාර කරමින් ඔහු රෝලරය මත වාඩිවී සිටින අයුරු දක්නට ලැබී තිබෙනවා.
ලීගයේ උසස් වීමක් ලබා සිටින ෂිලිංස්ටන් කණ්ඩායමට ලීග් ශූරතාව හිමිකර ගැනීම සඳහා අවශ්‍යව තිබෙන්නේ තව ලකුණු කිහිපයක් පමණයි. දෙවැනි පෙල කණ්ඩායමක් ආරම්භ කර සිය කණිෂ්ඨ වැඩසටහන නැවත පටන් ගැනීමට එම සමාජය දැන් සැලසුම් කරගෙන යනවා.
ෂිලිංස්ටන් හි තේ ඉතාම රසවත් බව ‘සංගා’ කියනවා. “තේ සංග්‍රහ ඇත්තටම හොඳයි. හොඳ කේක්, හොඳ පේස්ට්‍රි, හොඳ සොසේජ් රෝල්ස්, හොඳ තේ සහ කෝපි, බර්ගර්ස්. තේ පැන් සංග්‍රහවලදී ෂිලිංස්ටන් උඩින්ම ඉන්නවා කියලයි මම හිතන්නේ.
කුමාර් සංගක්කාර ප්‍රථම වතාවට එංගලන්තයේ ටෙස්ට් සංචාරයක යෙදුනේ මීට දශක දෙකකටත් වැඩි කාලයකට පෙර 2002 වසරේ. ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් වන විට සංගක්කාර 41කට වැඩි සාමාන්‍යකින් යුතුව ටෙස්ට් ලකුණු 862ක් එංගලන්තයේදී ලබා ගෙන තිබුනා. ශතක දෙකක් ද මීට ඇතුළත්. සමහර විට වඩාත්ම මතක හිටින ශතකය වාර්තා වූයේ 2014 වසරේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී. ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඔහු ක්‍රීඩා කළ ඒ අවසාන ටෙස්ට් තරගයේදී සංගක්කාර ලකුණු 147ක් රැස් කළා. එංගලන්තයේදී සිය පළමු ශතකය වාර්තා කිරීම සඳහා ‘සංගා’ට ඉනිම නවයක් ගතවුනා. 2011 වසරේ ‘රෝස් බෝල්’ ක්‍රීඩාංගණයේදී ඔහු ලකුණු 119ක් ලබා ගත්තේ පැය හය හමාරක කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින්. 2014 වසරේදී වාර්තා වූ එංගලන්ත භූමියේ ශ්‍රී ලංකාවේ එක ම ටෙස්ට් තරගමාලා ජයග්‍රහණයේ සංගාක්කාර ද කොටස්කරුවෙක්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






