පැරිසියේදී අද ඇරඹෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඉතාලියේ වැලන්ටීනා පෙතරිල්ලෝ (Valentina Petrillo) කෙරෙහි පැරා-මලල ක්‍රීඩා තරග බිමේ විශේෂ
අවධානය යොමු වීම පුදුමයක් වන්නේ නැහැ. ඒ, පැරාලිම්පික් ක්‍රීඩා උළෙලක තරග වදින පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව ඇය වන නිසා.
දෘශ්‍ය දුබලතාවෙන් පෙළෙන මලල ක්‍රීඩිකාවන් වෙනුවෙන් තිබෙන T12 ඉසව්වේ තරග වදින 50 හැවිරිදි පෙතරිල්ලෝ, තමා සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවක් බවට ප්‍රසිද්ධියේ පිළිගත් ප්‍රථම පැරාලිම්පික් ක්‍රීඩිකාව බවට පත්ව සිටිනවා.
ඇය කාන්තා T12 මීටර් 200 හා මීටර් 400 ඉසව්වල තරග වැදීමට නියමිතයි. පසුගිය වසරේ පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී මේ ක්‍රීඩිකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වුනා.
පිරිමි ළමයෙකු ලෙස හැදී වැඩුනු පෙතරිල්ලෝගේ ලිංගික සංක්‍රාන්තිය සිදුවූයේ 2019 වසරේදී. වයස අවුරුදු නවයේදී සිට තමා ගැහැනියක බව දැන සිටියේ යැයි පෙතරිල්ලෝ පවසනවා. ඇයට ඇස් පෙනීම ක්‍රමයෙන් පිරිහී යන රෝගයක් තිබෙන බවට සොයා ගැනුනේ ඇයට වයස අවුරුදු 14දී.
පෙතරිල්ලෝ 2025 සිට 2018 දක්වා කාලය තුළ දෘශ්‍ය දුබලතා ඇති තරගකරුවන් වෙනුවෙන් පැවති පිරිමි T12 අංශයේ ජාතික ශූරතා 11ක් දිනා ගෙන සිටිනවා.
පෙතරිල්ලෝ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක ලෙස සමාජයට විවෘත වූයේ 2017 වසරේදී. ඇය මේ බව පළමුව කියා සිටියේ තමාට පුතෙක් ලබා දුන් තමාගේ බිරිඳට.
අනතුරුව බිරිඳගේ සහයෝගය ඇතිව 2018 වසරේ සිට කාන්තාවක ලෙස ජීවත් වීම ආරම්භ කළ ඇය 2019 වසරේ ජනවාරි මාසයේදී හෝමෝන ආදේශන චිකිත්සාව පටන් ගත්තා.
“මගේ ශරීරයේ සිදුවන රසායනික ක්‍රියාවලිය වෙනස් වෙලා” යනුවෙන් ඇය ‘බී.බී.සී.’යට කියා තිබුනා.
කෙසේ වෙතත්, පෙතරිල්ලෝ සංක්‍රාන්තික ලිංගික ක්‍රීඩිකාවක් වූ දා පටන් ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය හා ජාතික පැරා ශූරතාවලිය යන තරගාවලියන් දෙකේ ම පදක්කම් දිනා ගෙන තිබෙනවා. ඊට අමතරව, ඇය මාස්ටර්ස් මලල ක්‍රීඩා තරගවලදී ආබාධිත නොවන කාන්තාවන්ට එරෙහිව තරග කර තිබෙනවා.
2024 පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඉතාලිය නියෝජනය කිරීමට තෝරා ගැනීම පිළිබඳව වැලන්ටීනා පෙතරිල්ලෝ මෙසේ පවසනවා.
“මම මේ දවස උදාවෙන තුරු අවුරුදු තුනක් බලා සිටියා. ඒ පහුගිය අවුරුදු තුනේදී මේ අවස්ථාව උදාකර ගන්න මම මට පුළුවන් හැම දෙයක්ම කළා.”
“මේ තෝරා ගැනීමට මම සුදුසුයි. පුද්ගලයෙකු මෙන්ම මලල ක්‍රීඩිකාව ලෙසත් මා කෙරෙහි සැමවිටම විශ්වාසය තැබීම ගැන මම ඉතාලි පැරාලිම්පික් සම්මේලනයටත් ඉතාලි පැරාලිම්පික් කමිටුවටත් මගේ ස්තූතිය පළ කරනවා.”
“පැරාලිම්පික් ක්‍රීඩා උළෙලක තරග වදින පළමු සංක්‍රාන්ති ලිංගික කාන්තාව වීමේ ඓතිහාසික වටිනාකම ‘ඇතුළත් කිරීම’ යන්නෙහි වැදගත් සංකේතයක්.”
සෑම කෙනෙකුටම මේ පිළිබඳව ප්‍රශ්න තිබුන ද තමාගේ කතාන්දරය තේරුම් ගනු ඇත්තේ සුළු පිරිසක් පමණක් බව ඇය කියනවා.
පැරිසියට ඇගේ පැමිණීම පිළිබඳව එකඟ නොවන හා ඇගේ තරග කිරීම අසාධාරණ බවට විශ්වාස කරන අයට කීමට තිබෙන්නේ කුමක්දැයි පෙතරිල්ලෝගෙන් විමසා සිටි අවස්ථාවේදී, “මෙය මා කැමැත්තෙන් තෝරා ගත් ජීවන ශෛලියක් නෙවෙයි. මේ තමයි මම” යනුවෙන් ඇය කියා සිටියා.
“තමන්ගේ ජෛව ලිංගිකත්වයට තමන් අයිති නැති බව හැඟෙන අනෙක් සියලු සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් වගේම තමයි මමත්. කෙනෙකුට ජාතිය, ආගම හා දේශපාලනය අනුව වෙනස්කම් නොකළ යුතු වගේම අපට එරෙහිවත් වෙන්කර හඳුනා ගැනීම් සිදු නොකළ යුතුයි.”
පසුගිය වසර හතේදී කාන්තා අංශයේ තරග කළ සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩිකාවන් අනෙක් ක්‍රීඩිකාවන් අභිබවා ගිය අවස්ථා තිබෙන්නේ ඒ ඉතා ස්වල්පයක් පමණක් බව ද ඇය සඳහන් කරනවා.
වර්තමානයේ මලල ක්‍රීඩා තරගවලට සංක්‍රාන්ති ලිංගික තරගකකාරියන් ඇතුළත් කිරීම සම්බන්ධව ඒකාබද්ධ පිළිවෙතක් නැහැ. ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ ප්‍රතිපත්ති හා ලෝක පැරා මලල ක්‍රීඩා බළධාරීන්ගේ ප්‍රතිපත්ති අතර සැලකිය යුතු තරමේ වෙනසක් තිබෙනවා.
ජාත්‍යන්තර තරගවලදී සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට කාන්තා ඉසව්වල තරග කිරීම ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් තහනම් කර තිබෙනවා. අනෙක් සෑම සැලිකිල්ලකටම වඩා කාන්තා ක්‍රීඩිකාවන්‌ට සාධාරණය ඉටු වීම පවත්වා ගෙන යා යුතු බවට ඔවුන් තීරණය කර තිබෙනවා.
එහෙත් ලෝක පැරා මලල ක්‍රීඩා නීතිවලට අනුව, කාන්තාවක ලෙස නීත්‍යානුකූලව පිළිගත් පුද්ගලයෙකුට ඔවුන්ගේ ශාරීරික දුබලතාව වෙනුවෙන් නියම කර තිබෙන තරගවලට සහභාගි වීමට සුදුසුකම් ලැබෙනවා.
පෙතරිල්ලෝ ට කාන්තා තරගවලට සහභාගි වීමට ඇති අයිතිය අභියෝගයට ලක් කරමින් ක්‍රීඩිකාවන් 30 දෙනෙකුට වැඩි පිරිසක් විසින් 2021 වසරේදී අත්සන් කරන ලද පෙත්සමක් ඉතාලි මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපතිට සහ සමාන අවස්ථාවන් හා ක්‍රීඩා අමාත්‍යංශවලට ඉදිරිපත් කෙරුනා.
වැලන්ටීනා පෙතරිල්ලෝ වයස අවුරුදු හතේදී මලල ක්‍රීඩාවට ආදරය කිරීමට පටන් ගත්තේ ඉතාලි කෙටි දුර ධාවක Pietro Mennea 1980 මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නා අයුරු බලා සිටීමෙන් පසුව.
“මට එයා වගේ වෙන්න ඕන කියල මම එදා කිවුවා” යැයි පෙතරිල්ලා පැවසුවා. “නිල් පාට ඉතාලි කමිසය ඇඳගෙන ඔලිම්පික් යන්න මට අවශ්‍ය වුනා. නමුත් මට ඕන කළේ කාන්තාවක ලෙස ඒ දෙය කරන්න. මොකද, මම පිරිමියෙක් කියල මට දැනුනේ නැහැ.”
ඊට දශක හතරකට පසුව, පණස් වැනි වියේදී පෙතරිල්ලෝ ට ඇගේ සිහිනය සැබෑ වෙනවා. නමුත් ඒ ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් නොව පැරාලිම්පික් ක්‍රීඩා උළෙලක තරග කරන ප්‍රථම සංක්‍රාන්ති ලිංගික කාන්තාව ලෙසින්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී