නිමාවූ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොහෝ කතාබහට ලක්වූ ක්‍රීඩකයා සමහර විට වැඩියෙන්ම පදක්කම් දිනා ගත් හෝ වඩාත්ම ප්‍රකට ක්‍රීඩකයා නොවෙන්න පුළුවන්.
ඇත්ත වශයෙන්ම, එම ක්‍රීඩා උළෙලට පෙර තුර්කියේ පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩක යූසුෆ් ඩිකෙච් (Yusuf Dikec) පිළිබඳව අසා තිබුනේ පුද්ගලයන් කිහිප දෙනෙකු පමණක් විය හැකියි. නමුත් ඔහු තමාගේ තරගයට පිවිසුනු නොකැළඹුනු අකාරය නිසා මේ ක්‍රීඩකයාට පැරිසියේදී කීර්තිමත් තත්ත්වයක් හිමිවුනා.

ඉලක්කයට වෙඩි තැබීමේ තරග සඳහා භාවිතා කරන විශේෂ ඇස් කණ්ණාඩි, කන් ආරක්ෂා කිරීමේ විශාල උපකරණ හෝ පැහැ ගන්වන ලද කාච යනාදී කිසිවක් නැතිව අතක් ඔහේ සාක්කුවක දමාගෙන තරග කරමින් ඩිකෙච් දිනා ගත් රිදී පදක්කම තුර්කියේ පළමු ඔලිම්පික් පදක්කම ලෙස ඉතිහාසගත වුනා. ඔහු මේ පදක්කම සිය කණ්ඩායම් සගයා සමග හිමිකර ගත්තේ මිශ්‍ර-කණ්ඩායම් මීටර් 10 ගුවන් පිස්තෝල ඉසව්වෙන්.
ඩිකෙච්ගේ මේ කිසිම දෙයක් සැලකිල්ලට නොගන්නා සසල නොවන තරග ඉරියව්ව සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා ම සීඝ්‍රයෙන් ජනප්‍රිය වුනා. එහි ජනප්‍රියත්වය කොතරම් ද යත් බොහෝ ප්‍රකට පුද්ගලයන් ඔහුගේ මේ නොසැලෙන ගතියෙන් යුත් තරග ඉරියව්ව අනුකරණය කරන්නට පටන් ගත්තා.
සමාජ මාධ්‍යවල සමහරු මේ තුර්කි වෙඩි තබන්නාව ජනප්‍රිය ප්‍රබන්ධ කතාවේ එන සුප්‍රසිද්ධ වීර චරිතයක් වන ‘ජේම්ස් බොන්ඩ්’ ඔත්තුකාරයාට සමාන කළ අතර බිලියනපති ඊලොන් මස්ක් එම ඉරියව්වෙන් යුතුව වීඩියෝවක් පවා නිකුත් කළා.
ඩිකෙච් රිදී පදක්කම දිනා ගැනීම
ඩිකෙච් රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුව ඔහුගේ තරග ඉරියව්ව බොහෝ ජනප්‍රිය වෙමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිටි වෙනත් රටවල ක්‍රීඩකයන් ද එය අනුකරණය කරන්නට පටන් ගත්තා.
51 හැවිරිදි මේ ඉලක්කයට වෙඩි තබන්නාගේ සන්සුන් තරග ඉරියව්ව රිටි පැනීමේ රන් පදක්කම්ලාභී හා ලෝක වාර්තාලාභී ස්විඩන්-අමෙරිකා ජාතික Mondo Duplantis පවා අනුකරණය කළේ සිතින් මවාගත් සාක්කුවක අතක් දමාගෙන, අනෙක් අත මනංකල්පිත තුවක්කුවක් ඇතිව දිග්කරගෙන.
ස්විඩන්-අමෙරිකා ජාතික Mondo Duplantis පවා අනුකරණය කළේ සිතින් මවාගත් සාක්කුවක අතක් දමාගෙන, අනෙක් අත මනංකල්පිත තුවක්කුවක් ඇතිව දිග්කරගෙන.
එංගලන්තයේ චෙල්සී පාපන්දු කණ්ඩායමේ ආක්‍රමණික ක්‍රීඩක Nicolas Jackson ද ඉරිදා පැවති ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමට එරෙහි එංගලන්ත ප්‍රිමිය ලීග් තරගයේ ගෝලයක් ලබා ගැනීමෙන් පසුව එහි ප්‍රීතිය සැමරුවේ මේ ඉරියව්වෙන්.
යූසුෆ් ඩිකෙච් ට සමාන රූපයෙන් යුතුව ටී-ෂර්ට්ස්, කෝප්ප හා ජංගම දුරකථන කවර ඇතුළු නොයෙකුත් ක්‍රීඩා සිහිවටන අලෙවියට තබා තිබෙනවා. මේ හේතුවෙන් තමාගේ මේ ඉතා ජනප්‍රිය තරග ඉරියව්ව වෙළඳ ලකුණක් ලෙස ලියාපදිංචි කිරීමට ඔහු තීරණය කර තිබෙනවා.
යූසුෆ් ඩිකෙච් ට සමාන රූපයෙන් යුතුව ටී-ෂර්ට්ස්, කෝප්ප හා ජංගම දුරකථන කවර ඇතුළු නොයෙකුත් ක්‍රීඩා සිහිවටන අලෙවියට තබා තිබෙනවා.
ඩිකෙච්ගේ කැමැත්තකින් තොරව ඔහුට නොදන්වා බොහෝ දෙනා ඔහුගේ මේ තරග ඉරියව්ව වෙළඳ ලකුණක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන බැවින් එය වාණිජමය වශයෙන් පාවිච්චි කිරීම ආරක්ෂා කිරීම පිණිස ඔහු තුර්කියේ පේටන්ට් හා වෙළඳ ලකුණු කාර්යාලයේ පිහිට පතා තිබෙනවා.
සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






