මලල ක්‍රීඩාවේ පිටිය තරග බිමේ විශේෂයෙන් උස පැනීම, දුර පැනීම හා රිටි පැනීම වැනි ඉසව්වල සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා
කෙටි දුර ධාවකයෙකුගේ වැනි වේගයක් තිබිය යුතු වීම සිද්ධාන්තයක්. රිටි පැනීම ලෝක ශූරයා වන ආමන්ඩ් ඩුප්ලාන්ටිෂ් (Armand Duplantis) මීටර් 400 කඩුලු පැනීම ලෝක වාර්තාව උසුලන කාස්ටන් වොර්හෝම් (Karsten Warholm) පරදවා ඔප්පු කළේ තමාට ඒ වේගය තිබෙන බව.
වෘත්තීය මලල ක්‍රීඩකයන් විශේෂයෙන් ඔවුන්ගේ ජවන ඉසව්වක් පිටිය ඉසව්වක් සමග සම්බන්ධ කර ගැනීම කලාතුරකින් සිදුවන්නක්. නමුත් එවැනි දෙයක් සිදුවුවහොත් එහි ප්‍රතිඵලය විස්මයජනක වීමට ඉඩ තිබෙනවා. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිටි පැනීමේ රන් පදක්කම්ලාභියා මීටර් 400 කඩුලු පැනීමේ රිදී පදක්කම්ලාභියා සමග මීටර් 100ක දුරක් තරග කිරීම ද එවැනි අභූත ප්‍රතිඵලයක් ගෙන දුන් මොහොතක්.
මේ විකාර ප්‍රදර්ශන තරගය ස්විට්සලන්තයේදී පැවැත්වීමට දෙදෙනා එකඟ වූ අතර බදාදා එම තරගය පැවතියේ මේ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා කරට කර තරග වදින දුර්ලභ අවස්ථාව දැක ගැනීම පිණිස රොක්ව සිටි මහ සෙනඟක් ඉදිරියේ.

ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිෂ් සහ නෝවේ රටේ කාස්ටන් වොර්හෝම් තරග බිමෙන් පිටතදී ගජ මිතුරන්. නමුත් දෙදෙනා එකිනෙකාට එරෙහිව මීටර් 100 දුරක් තරගයට දිවීමට තීරණය කළේ දෙදෙනාගෙන් කෙටි දුර ධාවනයේදී වඩා වේගවත් කවුරුන්ද කියා උරගා බැලීම පිණිස.
බොහෝ දෙනා අපේක්ෂා කළේ කෙටි දුර දිවීමේ පළපුරුද්දක් තිබෙන වොර්හෝම් මේ තරගයට වඩාත් සුදුසු බව. එහෙත් ඩුප්ලාන්ටිෂ්ගේ ඉතා වේගවත් දිවීම මේ තරගය හැබැහින් සහ මාර්ග ගතව නරඹමින් සිටි සියළු දෙනා මවිතයට පත්කළා.
සාර්ථක ආරම්භයකින් ඩුප්ලාන්ටිෂ් කළින් ම තරගයේ පෙරමුණ ගත් අතර දෙදෙනා ම තත්පර 11 ට අඩුවෙන් තරගය නිම කළ ද ඩුප්ලාන්ට් ළඟා වීමට වොර්හෝම් ට කිසිම අවස්ථාවක හැකිවුනේ නැහැ.

මාස පහක් ඇතුළත රිටි පැනීම ලෝක වාර්තාව තෙවතාවක් බිඳ දැමීමෙන් සෑහීමට පත් නොවූ ඩුප්ලාන්ටිෂ් මේ මීටර් 100 තරගය ද ජයග්‍රහණය කිරීමට සමත් වුනේ තත්පර 10.37ක කාලයක් සටහන් කරමින්. මීටර් 400 කඩුලු පැන දිවීමේ ශූර වොර්හෝම් ගත් කාලය තත්පර 10.47ක්.
මේ දෙදෙනා වාර්තා කළ කාලයන් දෙදෙනා ට ම 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රමාණවත් වීමට ඉඩ තිබුනා.
2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී තත්පර 45.94ක් සටහන් කරමින් රන් පදක්කම දිනා ගත් කාස්ටන් වොර්හෝම් මීටර් 400 කඩුලු පැනීමේ වර්තමාන ලෝක වාර්තාලාභියා යි. එහෙත් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට ඔහුට සිදුවුනා.
24 හැවිරිදි ආමන්ඩ් ඩුප්ලාන්ටිෂ් රිටි පැනීම ඉසව්වේ ලෝක වාර්තා 10ක් පිහිටුවා තිබෙනවා. මීටර් 6.17ක උසක් පනිමින් 2020 වසරේදී සිය ලෝක වාර්තා බිහි කිරීමේ ගමන ආරම්භ කළ ඔහු දැනට නතර වී සිටින්නේ මීටර් 6.25ක උස ප්‍රමාණයක් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සහ මීටර් 6.26ක උසක් පෝලන්තයේ ඩයමන්ඩ් ලීගයේදී සටහන් කරමින්.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






