leader s

අයර්ලන්තයේ මීළඟ ජනාධිපතිවරයා වීමේ එක ම යුක්ති සහගත තේරීම තමා බව අමෙරිකානු මිශ්‍ර සටන් කලාවේ

- UFC (Ultimate Fighting Championship) - ශූරයෙකු වන කොනර් මෙග්රේගා (Conor McGregor) ප්‍රකාශ කරනවා.

අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර උපන් මේ සටන්කරුවා තමා ජනාධිපති වුවහොත් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන සැලසුම් කිහිපයක් ඉදිරිපත් කරමින් මෙසේ කියන්නේ බිලියනපති ඊලොන් මස්ක්ගේ සහයෝගය ලබමින්.

st435345

වර්තමානයේ අමෙරිකාවේ සුඛෝපභෝගී දිවියක් ගත කරමින් සිටිය ද, තම උපන් රට පිළිබඳව දේශානුරාගීව සිටින UFC තරග බිමේ ප්‍රතිමූර්තියක් වන මේ ක්‍රීඩකයා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමේ උවමනාවෙන් පසුවනවා. ඩබ්ලින් නුවර ඇතිවූ කලකෝලාහල සම්බන්ධයෙන් මතභේදාත්මක දේශනා පැවැත්වූ පුද්ගලයෙකි මෙග්රේගා.

Michael D. Higgins| Michael D. Higgins


අයර්ලන්තයේ වර්තමාන ජනාධිපති මයිකල් ඩී.හිගින්ස් (Michael D. Higgins) ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී මැතිවරණයක් කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එහිදී ජනාධිපති සුක්කානම සියතට ගැනීම සඳහා අයිරිෂ් ජනතාවගේ සහාය තමන්ට ලැබෙනු ඇති බවට මෙග්රේගා විශ්වාස කරනවා.

දේශපාලනයේ මීට පෙර පළපුරුද්දක් ඔහුට නැති අතර UFC ක්ෂේත්‍රයෙන් බැහැරව ඔහු මිලියන ගණනින් මුදල් උපයා ගෙන තිබෙන්නේ තමාගේ අනෙකුත් ව්‍යාපාර සමග තමාගේ ම විස්කි මත්පැන් ආයතනයක් වන Forever Twelve ආරම්භ කරමින්.

රටේ ජනාධිපති වශයෙන් තමාව තෝරා ගතහොත් තමා විසින් ක්ෂණිකව ගන්නා පියවර කිහිපයක් පිළිබඳව මෙග්රේගා අරුම පුදුම සටහනක් X සමාජ මාධ්‍යයේ පෝස්ට් කරමින් කියා තිබෙන්නේ අයර්ලන්තයේ ජනතාව සොයන සියළුම උත්තර තමා සතුව තිබෙන බව.

 

“ජනාධිපති වශයෙන් අයර්ලන්තයේ ආණ්ඩුව කැඳවීමට මෙන්ම එය විසිරුවා හැරීමේ බලයත් මට ලැබෙනවා” යනුවෙන් ඔහු සටහන් කර තිබෙනවා.

“ඒ නිසා මම කළින් කී පරිදි, වැඩකරන පුද්ගලයාගෙන් සොරකම් කරන, පවුල් සංස්ථාව අවුල් කරන, කුඩා ව්‍යාපාර විනාශ කරන සහ නොයෙකුත් වංචා කරන මේ පුද්ගලයන්ගෙන් අයර්ලන්තයේ ජනතාව සොයන පිළිතුරු සියල්ල මා ළඟ තියෙනවා.”

“අයර්ලන්ත ජනතාවට පිළිතුරු දීම සඳහා බලයේ සිටින මේ බොරුකාරයන්ව මම කැඳවනවා. දවස ඉවර වෙන්න ඉස්සෙල්ල මම ඒ වැඩේ සම්පූර්ණ කරනවා. එහෙම බැරිවුනොත් ආණ්ඩුව විසිරුවා හැරීම හැරෙන්න වෙනත් විකල්පයක් මට ඉතුරු වෙන්නේ නැහැ.”

“ජනතාව සොයන උත්තර ලබා ගැනීම ඔවුන්ට අයිති දෙයක්. එය ඉතාම පැහැදිලියි. ජනාධිපති වශයෙන් මගේ බලය වනු ඇත්තේ මෙයයි.”

“මම කරුණු කාරණා හොඳට දන්නවා. අයර්ලන්තයට උවමනා කරන්නේ සමස්ත ජනතාව විසින් පත්කරන ක්‍රියාශීලී ජනාධිපතිවරයෙක්. එයා තමයි මම. මම තමයි එකම යුක්ති සහගත තේරීම. 2025 ළඟ ළඟ ම එනවා...” යනුවෙන් මෙග්රේගා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ser43523
අයර්ලන්ත ජාතික 36 හැවිරිදි කොනර් ඇන්තනි මෙග්රේගා වෘත්තීය මිශ්‍ර සටන් කලාවේ ශූරයෙක්, වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙක්, ව්‍යාපාරිකයෙක් හා චිත්‍රපට නළුවෙක්. UFC ෆෙදවේට් සහ ලයිට්වේට් අංශවල හිටපු ශූරයා වන ඔහු එකවිට බර පංති දෙකක UFC ශූරතා හිමිකර ගත් පළමු UFC සටන්කරුවා යි. මීට අමතරව ඔහු Cage Warriors නමැති මිශ්‍ර සටන් කලාවේ ෆෙදවේට් හා ලයිට්වේට් ශූරතා දෙක ම සමගාමීව හිමිකර ගෙන සිටියා.

ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ නිපුණතාව, පහර එල්ල කිරීමේ නිරවද්‍යතාව හා ප්‍රතිවාදියා බිම හෙලීමේ ‘නොක්අවුට්’ ශක්තිය නිසා ජනප්‍රියව සිටින මෙග්රේගාගේ මිශ්‍ර සටන් ජයග්‍රහණ වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ ‘නොක්අවුට්’වලින් හෝ පහර දීම් හරහා ලබා ගත් තාක්ෂණික ‘නොක්අවුට්’වලින්.

මිශ්‍ර සටන් කලා (MMA) ඉතිහාසයේ මුදල් ගෙවා නැරඹීමේ වැඩිම ආකර්ෂණයක් තිබෙන ක්‍රීඩකයා වන්නේ ද මෙග්රේගා. මිශ්‍ර සටන් කලාව හා UFC තරග ගෝලීයව ජනප්‍රිය කිරීමේ ප්‍රශංසාව හිමිවන්නේ ඔහුට.

කොනර් මෙග්රේගා ලෝකයේ වඩාත්ම මුදලක් ගෙවනු ලබන ක්‍රීඩකයා ලෙස ෆෝබ්ස් සඟරාව 2021 වසරේදී ප්‍රකාශ කළේ ඔහු ඩොලර් මිලියන 180ක් උපයමින් සිටියදී.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්