චීනයේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටියදී තමා තරග පාවාදීම හා අල්ලස් ගැනීමට සහභාගි වූ බවට පාපොච්චාරණය කළේ බොරුවට බව දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩක සොන් ජුන්-හෝ (Son Jun-ho) පවසනවා.
තමා මේ අසත්‍ය පාපොච්චාරණය සිදු කළේ තමා අත්අඩංගුවේ සිටියදී එසේ කියන ලෙසට බලකෙරුනු නිසා යැයි මේ ක්‍රීඩකයා කඳුළු පිරි දෑසින් යුතුව සෝල් අගනුවරදී ප්‍රකාශ කළේ තරග පාවාදුන් බවට චීන බලධාරීන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරමින්.
තරග පාවාදීම හා සූදු ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනා මත සොන් ඇතුළු ක්‍රීඩකයන් 38 දෙනෙකුට හා නිලධාරීන් 5 දෙනෙකුට චීන පාපන්දු සංගමය විසින් ජීවිතාන්තය දක්වා පාපන්දු ක්‍රීඩා තහනමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
“මම කවදාවත් තරග පාවාදීමකට සහභාගි වුනේ නැහැ” යනුවෙන් සොන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා.
“ඔවුන්ට තිබෙන එකම සාක්ෂිය මාව බලයෙන් නම්මාගෙන මගෙන් ගත් අසත්‍ය ප්‍රකාශය යි” ඔහු පැවසුවේ හඬා වැටෙමින්.
“මම මේ චෝදනා පිළිගත්තේ නැත්නම්, මගේ බිරිඳවත් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවට ඔවුන් මට තර්ජනය කළා.”

මේ අපකීර්තිමත් සිද්ධියෙන් පසුව දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමේ සිය ස්ථානය අහිමි කරගෙන සිටින මේ මැද පෙල ක්‍රීඩකයා මාර්තුවේදී සිරෙන් නිදහස් කර ආපසු සියරට යැවුවේ මාස දහයකට ආසන්න කාලයක් චීනයේ හිරභාරයේ තබාගෙන සිටීමෙන් පසුව. තමාව නිදහස් කරන කොන්දේසිය මත තමා අත්අඩංගුවේ සිටි කාලය තුළ ලැබූ අත්දැකීම් පිළිබඳව කතා නොකිරීමට එකඟ වූව ද දැන් කතා කිරීමට තමා තීරණය කළේ චීන තරග තහනම් කිරීමට තමාවද ඇතුළත් කිරීමෙන් හටගත් මහත් කම්පාව නිසා යැයි දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩකයා ප්‍රකාශ කළා.
දකුණු කොරියානු Suwon FC කණ්ඩායම සමග දැන් කොන්ත්‍රාත්ගතව සිටින සොන් ජුන්-හෝ දිගටම තම පාපන්දු ක්‍රීඩා දිවියේ නිරත වීමට බලාපොරොත්තු වනවා.
අත්අඩංගුවේ සිටි කාලයේදී තමාට නරක විදියට සැලකීමක් සිදු නොවූව ද තමාව රඳවා ගෙන සිටි තත්ත්වයන් කර්කශ වූ බව ඔහු සඳහන් කළා.
චීනයේ සුපර් ලීග් සමාජයක් වන Shandong Taishan FC ට ක්‍රීඩා කරමින් සිටි සොන් අල්ලස් ගෙන ඇතැයි සැක කරන බවට ඔහු පසුගිය මැයි මාසයේ අත්අඩංගුවේ සිටියදී චීනයේ විදෙස් කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.
දකුණු කොරියානු Suwon FC කණ්ඩායම සමග දැන් කොන්ත්‍රාත්ගතව සිටින සොන් ජුන්-හෝ දිගටම තම පාපන්දු ක්‍රීඩා දිවියේ නිරත වීමට බලාපොරොත්තු වනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






