leader s

හිටපු පෙම්වතා විසින් පෙට්‍රල් වත්කර ගිනිතබනු ලැබූ උගන්ඩාවේ ඔලිම්පික් මැරතන් ක්‍රීඩිකා රෙබෙකා චෙප්ටෙගේ (Rebecca Cheptegei)ගේ

අවසන් කටයුතු ඊයේ සිදු කෙරුනේ පූර්ණ හමුදා ගෞරව සහිතව.

ඇගේ සිරුර භූමදාන කෙරුනේ උගන්ඩාවේ ඊසාන දිගින් පිහිටි ඇයගේ පරම්පරාගත ස්ථානයේ.

ජාත්‍යන්තර දුර දිවීමේ ක්‍රීඩකයන්ගේ ජනප්‍රිය පුහුණු ඉසව්වක් බවට පත්ව තිබෙන බටහිර කෙන්යාවේ උස් බිමේ පිහිටි ඇගේ නිවසට 33 හැවිරිදි චෙප්ටෙගේ නැවත පැමිණියේ අගෝස්තු 11 වැනිදා පැවති පැරිස් ඔලිම්පික් මැරතන් තරගයේ 44 වැනි ස්ථානයට පත්වීමෙන් පසුව.

එය ඇයගේ අවසාන තරගය බවට පත්වුනේ ඉතාමත් කුරිරු අන්දමට.

sdt454

තෙසතියකට පසුව චෙප්ටෙගේ ඇගේ දියණියන් දෙදෙනා හා බාල සොයුරිය සමග කෙන්යාවේ Kinyoro ගමේ පල්ලියේ සිට ආපසු නිවසට පැමිණි අවස්ථාවේ ඇගේ හිටපු පෙම්වතා පැමිණ චෙප්ටෙගේ ට ගිනි තැබුවා.

මේ පුද්ගලයාට එරෙහිව තම දියණිය අවම වශයෙන් තෙවතාවක් පොලිසියට පැමිණිලි කළ බව පියා ජෝසෆ් චෙප්ටෙගේ පවසා තිබෙනවා. පැමිණිලි කළ ආසන්නතම අවස්ථාව වී තිබුනේ ඇය ප්‍රහාරයට ලක්වූ දිනයට දවස් දෙකකට පෙර අගෝස්තු 30 වැනිදා.

සිද්ධියෙන් ශරීරයේ සියයට 80ක පිළිස්සුම් තුවාල ලද චෙප්ටෙගේ ඊට දින හතරකට පසුව මිය ගියා. ඇයට ගිනිතැබූ පුද්ගලයා ද පිළිස්සුම් තුවාලවලින් මිය ගියා.

st4543


චෙප්ටෙගේ සමග අමනාප වීමෙන් පසුව ඇගෙන් වෙන්ව සිටින සැමියා වන Simon Ayeko මේ සිද්ධියෙන් ඉතාමත් ශෝකයට පත්ව සිටිනවා. “පියෙක් විදියට මේක මට දරා ගන්න හරිම අමාරුයි” යනුවෙන් ඔහු පැවසුවේ ඔවුන්ගේ දරුවන්ට මේ පිළිබඳව දැන්වීමට තරම් ශක්තියක් තමාට නැති බව පවසමින්. “අපි එයාලට හෙමිහිට ඇත්ත කියන්නම්.”

උගන්ඩාවේ හා කෙන්යාවේ සිටින චෙප්ටෙගේ ගේ ඔලිම්පික් සගයන් ද ඇතුළුව වැලපෙන්නන් සිය ගණනක් කෙන්යාව සමග තිබෙන දේශසීමාව අසල පිහිටි Bukwo නුවර පැවති ඇගේ අවමඟුලට එක්වුනා.

ගුණකථනයේදී චෙප්ටෙගේව මහත් ආදරයෙන් වර්ණනා කෙරුනේ ඇයව වීරවරියක්, මවක් හා සොයුරියක් ලෙස හඳුන්වමින්. පසුව ඇගේ මෘතදේහය පස්වරු පහට පමණ ඇයගේ සොහොනේ තැන්පත් කෙරුනා. ඇයව භූමදාන කෙරුනේ ඇය සාමාජිකයෙකුව සිටි උගන්ඩා හමුදාවේ තුවක්කු ආචාරයක් ඇතුළු පූර්ණ හමුදා ගෞරව සහිතව.

උගන්ඩා ජනතාවගේ ආරක්ෂක හමුදාවන් (UPDF) හි සාජන්ට් වරියක වූ චෙප්ටෙගේ ට ගෞරව දැක්වීමේ දේව මෙහෙය පෙරවරු දහයට පමණ ආරම්භ වූයේ නිලධාරීන් හා ඥාතීන් ගමේ කවුන්සල කාර්යාලයට රැස්වෙමින්.

උගන්ඩා ධජයෙන් ඔතන ලද මිනීපෙට්ටිය ට ආචාර කළ UPDF නිලධාරීන් ඇය ළමාවියේ සෙල්ලම් කළ කඳුවැටි ඈතින් පෙනෙන කාමරයට ඇගේ සිරුර ඔසවා ගෙන ගියා.

zsdqw4

ගමේ කවුන්සල මූලස්ථානයේ සිට අසල තිබෙන ක්‍රීඩාංගණයකට ඇයගේ මෘතදේහය ගෙන ගිය අතර එහිදී සිය ගණන් ජනයා ඔවුන්ගේ අවසන් ගෞරව දැක්වූවා.

අවසන් කටයුතුවලට සහභාගි වීම පිණිස කෙන්යානු දුර දිවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන Daniel Komen හා Mary Keitany ඇතුළු මලල ක්‍රීඩකයින් විශාල පිරිසක් මේ කුඩා ගම්මානයට පැමිණ සිටියා.

චෙප්ටෙගේ ගේ ඝාතනයත් සමග, විශේෂයෙන් මලල ක්‍රීඩා ප්‍රජාව ඇතුළු කෙන්යාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යාම පිළිබඳව ජනතාවගේ කෝපය ඇවිස්සී තිබෙනවා. 2021 වසරේ සිට මේ දක්වා ප්‍රේමවන්තයෙකු අතින් මිය ගිය තෙවැනි සුපිරි මැරතන් ක්‍රීඩිකාව වනුයේ රෙබෙකා චෙප්ටෙගේ.

මේ හිත්පිත් නැති දුෂ්ට ප්‍රහාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ ස්ත්‍රී ඝාතන රැල්ලක් ඇතිව තිබෙන බව යැයි කාන්තා හිංසනයට එරෙහි ක්‍රියාකාරීන් ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතීන්ගේ නවතම සංඛ්‍යා ලේඛන අනුව 2022 වසරේ පමණක් කාන්තාවන් මරා දැමීමේ සිද්ධීන් 725ක් කෙන්යාවෙන් වාර්තා වී තිබෙනවා.

ඊට පසු වසරේදී කෙන්යාවේ ජාතික සංඛ්‍යාන කාර්යාංශය නිකුත් කළ වාර්තාවකට අනුව වයස අවුරුදු 15 සිට ශාරීරික ප්‍රචණ්ඩත්වයට ලක්වූ කාන්තාවන් ගණන සියයට 34ක්.

රෙබෙකා චෙප්ටෙගේ ඝාතනය කළ අන්දම මුළු ලෝකය ම කම්පාවට පත් කළ ද ඇයගේ නාමයෙන් අනාගත ක්‍රීඩිකාවන් ප්‍රබෝධමත් වනු ඇති අතර ඇයට දක්වන ගෞරවයක් වශයෙන් ක්‍රීඩා සංකීර්ණයකට ඇයගේ නම තැබීමට ප්‍රංශයේ අගනගරය සැලසුම් කරගෙන යනවා.

“ඇය පැරිසියේදී අපේ සිත් වසඟ කළා. අපි ඇයව දුටුවා. ඇගේ ලස්සන, ඇගේ ශක්තිය, ඇගේ නිදහස අපට පෙනුනා” යනුවෙන් පැරිසියේ නගරාධිපතිනි ඈන් හිඩල්ගෝ සඳහන් කරනවා.

“පැරිසිය ඇයව අමතක කරන්නේ නැහැ!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්