අඟල් 61ක පපුවක්, අඟල් 25ක බාහු පේශින් හා අඩි 6 යි අඟල් 1ක උසකින් යුත් ඔහු ජනප්‍රියව සිටියේ ‘රාත්තල් තුන්සිය හතළිහේ මෘගයා’ (340lbs Beast) සහ ‘විකෘතය’ (The Mutant) යන නම්වලින්.
අන්තයට ගිය ශරීර ප්‍රමාණය නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි ඉල්ලියා ‘ගෝලම්’ යෙෆිම්චෙක් (ILLia ‘Golem’ Yefimchyk) නමැති බෙලරුසියානු කායවර්ධකයා 36 වැනි වියේ පසුවෙමින් සිටියදී හෘදයාබාධයකින් ඛේදනීය ලෙස මිය ගියා.
සිත්බඳනාසුලු ශරීර විශාලත්වය හා ශක්තිය නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි යෙෆිම්චෙක් කැලරි 16,500ක් අඩංගු මහා පරිමාණයේ ආහාරයක් වේල හතකින් දිනකට අනුභව කිරීමක් පවත්වා ගෙන ගිය අතර ඊට ජපාන මසවුලක් වන සුෂි කෑලි 108ක් හා කිලෝග්‍රෑම්ස් 2.5ක මස් පෙති ද ඇතුළත්ව තිබුනා.

වෘත්තීය වශයෙන් තරග කර නැතත්, රාත්තල් 600ක bench press හා රාත්තල් 700ක deadlifts දක්ෂතාවන් නිසා ඔහු ඉන්ස්ටග්‍රෑම් වේදිකාවේ 300,000ක විශාල අනුගාමිකයන් පිරිසක් උපයා ගෙන සිටියේ මිනිස් ශාරීරික සීමාවන් තවත් ඉදිරියට තල්ලු කිරීමට බොහෝ දෙනා දිරිමත් කරමින්.
කිලෝග්‍රෑම් 70ක බරකින් යුතුව නව යොවුන් වියේ පසුවෙමින් push-up අභ්‍යාස එකක් හෝ කළ නොහැකි තත්ත්වයක සිටි තමා යෝධ ශරීරයක් දක්වා පරිවර්තනය වීමට හේතුව දැඩි පුහුණුව හා විනය මෙන්ම ව්‍යායාම භෞතවේදය හා පෝෂණය පිළිබඳ ගැඹුරු තේරුම් ගැනීම බව යෙෆිම්චෙක් ප්‍රකාශ කර තිබුනා.

ඛේදජනක අයුරින් යෙෆිම්චෙක් මාරාන්තික හෘදයාබාධයකට ලක්වූ අතර ඔහුව ගුවන් මගින් රෝහලට ගෙන ගියද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුනා. ඔහුගේ හදවත නැවත ටික වේලාවක් ගැහෙන්නට පටන් ගත්ත ද ඔහුගේ මොළය මැරී ඇති බව වෛද්‍යවරු පසුව ඔහුගේ බිරිඳ ඇනා ට දන්වා සිටියා.
ඉල්ලියා යෙෆම්චෙක්ගේ මරණය අකාලයේ මිය ගිය බ්‍රසීලයේ 26 හැවිරිදි Antonion Souza හා එංගලන්තයේ 34 හැවිරිදි Neil Currey වැන්නවුන්ගේ ලැයිස්තුවට එකතු වන්නේ අන්තයට යන කායවර්ධනය නිසා ඇති වන සෞඛ්‍ය අවදානම පිළිබඳ දැඩි සැලකිල්ල ලෝකය හමුවේ මතු කරමින්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






