කමිඳු මෙන්ඩිස් අද ලෝක වාර්තාවක් පිහිටුවූයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිහින ආරම්භයක යෙදී සිටිමින්.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන නවසිලන්තය ට එරෙහි දෙවැනි තරගයේ ආරම්භක දිනයේදී නොදැවී ලකුණු 51ක් රැස් කරමින් කමිඳු මෙන්ඩිස් මේ ලෝක වාර්තාව බිහි කළේ සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරග අටෙන් සෑම තරගයකම ලකුණු 50 ට වැඩියෙන් රැස් කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින්. ඔහු විසින් බිඳ දමනු ලැබුවේ පාකිස්තානයේ සාඩ් ෂකීල් ඔහුගේ පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50කට වැඩියෙන් ලබා ගෙන තබා තිබූ වාර්තාව.
වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර මෙවැනි දක්ෂතාවක් වාර්තා වී නැහැ.
කමිඳු ඔහුගේ මේ ලෝක වාර්තාව සනිටුහන් කළේ පන්දු 56කින් නොදැවී ලකුණු 51ක් රැස් කරමින්. එම ඉනිමට හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
නවසිලන්තය ට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේදී ද පිත්තෙන් දස්කම් දැක්වූ කමිඳු එහිදී ධෛර්යවන්ත ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා..
ඉන්දියාවේ සුනිල් ගවස්කාර්, පාකිස්තානයේ සයීඩ් අහමඩ්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ බැසිල් බුචර් හා නවසිලන්තයේ බර්ට් සට්ක්ලිෆ් ඔවුන්ගේ පළමු ටෙස්ට් තරග හයේ සෑම තරගයකදීම අර්ධ ශතක ලබා ගෙන තිබෙනවා.
අත් දෙකෙන් ම පිත්ත හා පන්දුව හැසිරවීමේ හැකියාවක් තිබෙන කමිඳු මෙන්ඩිස් මෙතෙක් සහභාගි වී තිබෙන ටෙස්ට් තරග අටේදී දැනටමත් ශතක හතරක් හා අර්ධ ශතක පහක් වාර්තා කර තිබෙන්නේ ලකුණු 850කට වැඩියෙන් රැස් කරමින්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







