leader s

දිනේෂ් චන්දිමාල්ගේ ශතකය, ඇන්ජලෝ මැතිව්ස්ගේ ලකුණු 78ක නොදැවුනු ඉනිම හා කමිඳු මෙන්ඩිස්ගේ ලෝක වාර්තාගත නොදැවු

අර්ධ ශතකය මත ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ නවසිලන්තය ට එරෙහි දෙවැනි ටෙස්ට් ගැටුමේ පළමු දිනය අවසන් වන විටි කඩුලු 3ක් දැවී ලකුණු 306ක් රැස්කර ගෙන ශක්තිමත් තත්ත්වයකට පත්ව සිටියා.

චන්දිමාල් මිනිත්තු 271ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 208කින් ලකුණු 116ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත්ව තිබුනා. මැතිව්ස් පන්දු 166කට මුහුණ දෙමින් ලකුණු 78ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් එල්ල කරමින්.

කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක් රැස් කරමින් සිය පළමු ටෙස්ට් තරග අටේදී පිට පිට ලකුණු 50 ට වැඩියෙන් රැස් කළ ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වුනා. ඔහුගේ නොදැවුනු ඉනිම හතරේ පහර 8ක් සහ හයේ පහරකින් හැඩවී තිබීම විශේෂත්වයක්.

මේ තරගයේදී පිතිකරුවන් දවාලීමට තිබූ අවස්ථා ගණනාවක්ම නවසිලන්ත පන්දු රකින්නන් අතින් ගිලිහුනා.

තරගයේ පළමු ඕවරයේදීම ශ්‍රී ලංකා කඩුල්ලක් බිඳ වැටීමෙන් පසුව දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුනා.

පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මංගල ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබුවා. ඔහු ටෙස්ට් කැප් තොප්පිය ලබා ගත්තේ තවත් පිට දඟ පන්දු යවන්නෙකු වන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා අතින්.

වේග පන්දු යවන මිලාන් රත්නායක මේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබූ අතර නවසිලන්තය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ කණ්ඩායම ම නම් කර තිබුනා.

තරගය ආරම්භ වී මිනිත්තු 48කට පසුව හදිසියේම වැසි ඇද හැලීම හේතුවෙන් ඔ්වර 11ක් යවා තිබියදී ක්‍රීඩාව මඳ වේලාවකට නතර කෙරුනු අතර ඒ වන විට, කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාවේ එක් කඩුල්ලක් ලකුණු 41කට බිඳ වැටී තිබුනා. දැවී ගිය පිතිකරුවා වූයේ පැතුම් නිස්සංක.

පන්දු තුනකට පමණක් මුහුණ දුන් ඔහු එක ලකුණකට දැවී ගියේ නවසිලන්ත නායක ටිම් සවුතී‌ගේ පන්දුවට කඩුලු රකින ටොම් බ්ලන්ඩල් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. තරගයේ පළමු ඕවරයේ අවසන් පන්දුවෙන් නිස්සංක දැවී යන විට ලකුණු පුවරුවේ සටහන්ව තිබුනේ මුළු ලකුණු 2ක් පමණයි. තරගය නැවත ආරම්භ වූයේ මිනිත්තු 22කට පසුව.

නවසිලන්ත ක්‍රීඩකයින් අද තරගයට සහභාගි වූයේ කළු පැහැති අත් පටි පැළඳගෙන. ඒ, 1980 -1990 වකවානුවේ නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුව සිටි ඉයන් ටේලර්ගේ අභාවයට ශෝකය පළ කරමින්. ඔස්ට්‍රේලියාව, පාකිස්තානය හා එංගලන්තයේ සංචාරය කළ නවසිලන්ත කණ්ඩායමේ කළමනාකරුව සිටි ටේලර් නවසිලන්ත ක්‍රිකට් මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක්.

මිචල් සැන්ටනගේ පන්දුවට ලකුණක් ලබා ගනිමින් දිනේෂ් චන්දිමාල් ඔහුගේ 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. පන්දු 79ක ඒ අර්ධ ශතකයට හතරේ පහර 9ක් ඇතුළත්ව තිබුනා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල්ගේ ශතක සබඳතාව මත ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 102ක් රැස්කර ගෙන සිටියා.

දිවා ආහාරයෙන් පසුව යැවුනු අට වැනි ඕවරය ආරම්භයේදී එම දෙවැනි කඩුලු සබඳතාව ලකුණු 122කට (පන්දු 229) අවසන් වූයේ කරුණාරත්න දුවද්දී දැවී යාමත් සමග. සැන්ට්නගේ පන්දුවට කරුණාරත්න ‘මිඩ්විකට්’ ස්ථානයට පහරක් එල්ල කළ සැණින් ලකුණක් කරා දිව යාම ආරම්භ කළ ද අනෙක් අන්තයේ සිටි චන්දිමාල් ට එවැනි උවමනාවක් තිබුනේ නැහැ. පන්දු 109කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සමග ලකුණු 46ක් රැස් කළා. දෙවැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 124දී.

කරුණාරත්න අද දෙවතාවක්ම දැවී යාමෙන් ගැලවුනා. ඔහු ලකුණු 5ක් ලබා ගෙන සිටියදී විලියම් රෝක්ගේ පන්දුවකට පළමු ස්ලිප් ස්ථානයට දුන් පහසු උඩ පන්දුවක් රැක ගැනීමට මිචල් සැන්ට්න අසමත් වූ අතර ලකුණු 17දී කරුණාරත්න දැවී යාමෙන් බේරුණේ අජාස් පටෙල්ගේ පන්දුවකට ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට ගත් අසාර්ථක උත්සාහයෙන් ස්ටම්ප් කිරීමකට හසු නොවී සිටීමේ වාසනාව ලබමින්.

අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් හා චන්දිමාල් ශ්‍රී ලංකා මුළු ලකුණු ප්‍රමාණය කඩුලු 2 ට ලකුණු 194 දක්වා ගෙන එමින් සිටියදී සවස තේ පානය සඳහා තරගය නතර කෙරුනා. ඒ වන විට දිනේෂ් චන්දිමාල් ඔහුගේ 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර තිබුනා. පන්දු 171කින් ලබා ගත් එම ශතකයට හතරේ පහර 13ක් ඇතුළත්ව තිබුනා.

චන්දිමාල් සහ මැතිව්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 205කින් ලකුණු 97ක් රැස් කළා. ග්ලෙන් ෆිල්ප්ස්ගේ දඟ පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් චන්දිමාල් මුළු ලකුණු 221දී දැවී යාමත් සමග එම කඩුලු සබඳතාවට තිත වැටුනා.

ඔ්වර 80 අවසානයේ නවසිලන්තය දෙවැනි නව පන්දුව ලබා ගන්නා විට ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 249ක් රැස්කර ගෙන සිටියා.
කමිඳු මෙන්ඩිස්ගේ අට වැනි අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 53කින්.

හෙට තරගයේ දෙවැනි දිනය යි.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 setw4522

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්