ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ
සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයේ ‘ඔම්බුඩ්ස්මන්වරයාට’ නිල වශයෙන් පැමිණිළි කළ ද ඒ පිළිබඳව කටයුතු නොකළ බවට හිටපු රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් පවසයි.
අසංග සෙනෙවිරත්න 2012 වසරේ සිට 2018 වසර දක්වා ද, ලසිත ගුණරත්න 2018 වසරේ සිට 2020 වසර දක්වා ද, සභාපති ධූරය දැරූ බවත් එම කාලයේ රුපියල් මිලියන 55 ක් හෙවත් රුපියල් කෝටි 5 කට අධික මුදලක් අවභාවිත වී ඇති බවත් ඔහු පැවසීය.
එම කාලය තුළ ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ෆීජි ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ගෙන ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව සළසා ඇති බවත් එම බරපතල නීති විරෝධී සිද්ධිය පිළිබඳව මේ දක්වා කිසිඳු විමර්ශනයක් කර නොමැති බවත් රිස්වි ඉල්ලියාස් සඳහන් කළේය.
ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියට ලෝක රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි වෙත පැනවූ දඩයට ලෝක රග්බි සංගමය සංවර්ධන සඳහා වෙන්කළ මුදල් විධායක සභාවේ අනුමැතියෙන් තොරව හිලව් කිරීමට අදාල කාලයේ කටයුතු කර ඇති බව කියන රිස්වි ඉල්ලියාස්, මෙම සිද්ධීන් පිළිබඳව පරීක්‍ෂණ කරන ලෙස හිටපු ක්‍රීඩා ඇමතිවරු ඇතුළු බලධාරීන්ගෙන් අඛණ්ඩව ඉල්ලීම් කළ ද එය ඉටුනොවූ බව ද පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ක්‍රීඩා අමාත්‍යවරිය ද වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව අවදානය යොමු කරනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බව ද රිස්වි ඉල්ලියාස් වැඩි දුරටත් සඳහන් කළේය.
(lankadeepa.lk - යොහාන් භාසුර)






