නිශාන් මදුශ්කගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (ODI) අර්ධ ශතකය සහ චරිත් අසලංකගේ නායක ඉනිම මත ශ්‍රී ලංකාව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඊයේ පැවති පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තා.
ඩක්වර්ත්/ලුවිස් න්‍යායට අනුව ඕවර 37ක් ඇතුළත ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය වාර්තා කළේ තරගයේ තවත් පන්දු 31ක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්. මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින තරගමාලාවේ 1-0කින් පෙරමුණට පිවිසියා.

‘තරගයේ වීරයා’ වූ අසලංක හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් පන්දු 71කින් ලකුණු 77ක් රැස් කළ අතර සිය මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමග පන්දු 54කින් ලකුණු 69ක් ලබා ගත්තා. ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 44කින්. හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඊට ඇතුළත්ව තිබුනා. අසලංක ද ඔහුගේ අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 44කට මුහුණ දෙමින් වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත්ව තිබුනා.
ශ්‍රී ලංකාව කඩුලු 3ක් ලකුණු 45කට බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව සිටියදී කඩුල්ලේ එක්වූ මදුෂ්ක හා අසලංක සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109කින් ලකුණු 137ක් එක් කිරීමට සමත් වුනා.

ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34කින් ලකුණු 47ක නොබිඳි සබඳතාවක් ගොඩනැගූ අතර කමිඳු එල්ල කළ දර්ශනීය හයේ පහරකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය තහවුරු කර ගත්තා. ශ්‍රී ලංකාව කඩුලු 5යි, මුළු ලකුණු 234යි, ඕවර 31.5යි.
මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ විශ්වාසය ඇති කරවන ජයග්‍රහණයක් බව චරිත් අසලංක තරගයෙන් පසුව කියා සිටියා. “අපේ ක්‍රීඩකයෝ ඉතාමත් හොඳින් ක්‍රීඩ කළා. කාලගුණයේත් මොනවා හරි දෙයක් අපේ වාසියට තිබුනා.”
තම ඉනිම සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා, “මගේ සැලැස්ම වී තිබුනේ පන්දුව දඟ කැවුනු තත්ත්වයේදී ධනාත්මකව පහර දීමටයි” යනුවෙන් පැවසුවා.
තෙත්ව තිබූ පන්දුව පිළිබඳව ද කරුණු දැක්වූ අසලංක, “ඕවර 15කට වැඩි ප්‍රමාණයක් තුළ අපට චාන්ස් එකක් තිබුනා. ඔවුන්ට සාර්ථකව පන්දු යවන්න බැරිවුනා. ඒ නිසා නිශානුත් මමත් හොඳින් ක්‍රීඩා කළා” යනුවෙන් ප්‍රකාශ කළා.
ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මේ තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථකත්වයක් අත්කර ගත්තේ නිශාන් මදුශ්ක. ඒ පිළිබඳව නායක අසලංක මෙසේ කියා සිටියා.

“ඇත්ත වශයෙන් ම නිශාන් ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා මටත් අපේ පුහුණුකරුවාටත් නිර්මාණය වී තිබෙන්නේ ලොකු හිසරදයක්...ධනාත්මක හිසරදයක්.”
කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් ඕවර 38යි පන්දු 3ක් ඇතුළත කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කර ගෙන සිටියදී ඇද හැළුනු වර්ෂාව හේතුවෙන් නතර වූ තරගය පැය තුනහමාරකට ආසන්න කාලයකින් පසුව නැවත ආරම්භ වූයේ ශ්‍රී ලංකාව ට ඩක්වර්ත්/ලුවිස් න්‍යාය අනුව ඕවර 37කින් ලකුණු 232ක් ලබා ගැනීමේ අභියෝගයක් සමග.

එම ඉලක්කය හඹා යාමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් ඕවර 6යි පන්දු 3ක් ඇතුළත ලකුණු 45කට බිඳ වැටෙමින් අවිශ්ක ප්‍රනාන්දු (5), කුසල් මෙන්ඩිස් (13) හා සදීර සමරවික්‍රම (18) දැවී ගියා. අල්සාරි ජෝසෆ් විසින් ප්‍රනාන්දු හා මෙන්ඩිස් දවාලනු ලැබුවේ ඔහුගේ පළමු හා දෙවැනි ඕවරවලින්. ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි ඕවරයේදී රොස්ටන් චේස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් මුළු ලකුණු 6දීත්, මෙන්ඩිස් සිවුවැනි ඕවරයේදී ෂායි හෝප් ට උඩ පන්දුවක් ලබා දෙමින් මුළු ලකුණු 22දීත් දැවී යාමෙන් පසුව සමරවික්‍රම හත්වැනි ඕවරයේදී ගුඩාකේශ් මෝටීගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මුළු ලකුණු 45දී දැවී ගියා.
සිවු වැනි කඩුලු සබඳතාව අවසන් කරමින් නිශාන් මදුශ්ක මුළු ලකුණු 182දී දැවී ගියේ ගුඩාකේශ් මෝටීගේ පන්දුවට ස්ලිප් ක්‍රීඩක බ්‍රැන්ඩන් කිං අතට උඩ පන්දුවක් ලබා දෙමින්. 25 වැනි ඕවරයේ සිවු වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව 27 වැනි ඔ්වරය ආරම්භයේදී චරිත් අසලංක මුළු ලකුණු 187දී මෝටීගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා.
පරාජිත බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් මෝටී ලකුණු 47කට කඩුලු 3ක් ද, ජෝසෆ් ලකුණු 39කට කඩුලු 2ක් ද ලබා ගත්තා.

තරගයේ 13 වැනි ඕවරය අවසන් වන විට ලකුණු 54කට කඩුලු 3ක් අහිමි කරගෙන සිටි කොදෙව් පිල ඔවුන්ගේ ඉනිම ගොඩනගා ගත්තේ කඩුලු සබඳතා දෙකක් මාර්ගයෙන්. කීසි කාටි සහ ෂර්ෆේන් රදෆෝඩ් සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක් එක් කිරීමෙන් පසුව රදෆෝඩ් හා රොස්ටන් චේස් වර්ෂාව හේතුවෙන් කොදෙව් ඉනිම නතර වන විට පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 85ක නොබිඳි සබඳතාවක් ගොඩනගා ගෙන සිටියේ පන්දු 78කින්. ඒ වන විට රදෆෝඩ් පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 74ක් ද, චේස් හතරේ පහර 4ක් සමග පන්දු 33කින් ලකුණු 33ක් ද රැස්කර ගෙන සිටියා.
රදෆෝඩ් ඔහුගේ අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 64කින්.
වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 2ක් ලබා ගත් අතර ඉතිරි කඩුලු දෙක ලබා ගත්තේ ජෙෆ්රි වැන්ඩසේ හා චරිත් අසලංක.

කොදෙව් මුළු ලකුණු සංඛ්‍යාව 34ක්ව තිබියදී තරගයේ අට වැනි ඕවරය යැවීමට කැඳවනු ලැබූ වනිඳු හසරංග ඔහුගේ පළමු පා දඟ පන්දුවෙන් ම කඩුල්ලක් ලබා ගැනීමට සමත් වුනා. කොදෙව් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ හතරේ පහර දෙකක් සමග ලකුණු 14ක් ලබා සිටි බ්‍රැන්ඩන් කිං. ඊළඟ කඩුල්ල මුළු ලකුණු 41දී ලබා ගත්තේ ද හසරංග. මෙවර ඔහුට ගොදුරු වූයේ අනෙක් ආරම්භක පිතිකරු ඇලික් ඇතනේස් (10). ඔහු ස්ටම්ප් කර දවාලීමට කුසල් මෙන්ඩිස් කඩුලු රකින්නා දහ වැනි ඕවරය ආරම්භයේදී සමත් වුනා.

අනෙක් පා දඟ පන්දු යවන්නා වූ ජෙෆ්රි වැන්ඩසේ ද ඔහුගේ පළමු ඕවරයෙන් කඩුල්ලක් ලබා ගැනීමට සමත් වෙමින් නායක ෂායි හෝප් (5) දවාලුවා. මුළු ලකුණු 54දී යවමින් තිබූ 13 වැනි ඕවරයේ අවසන් පන්දුවට හෝප් දැවී ගියේ කඩුල්ල මුවා කරමින්. කෙසේ වෙතත්, පිටියේ විනිසුරු එය දැවී යාමක් නොවන බවට තීරණය කළ බැවින් ශ්‍රී ලංකාව ට එම කඩුල්ල ලබා ගැනීමට සිදුවූයේ තෙවැනි විනිසුරු මාර්ගයෙන්.
පන්දු 68කින් මුළු ලකුණු 50 වාර්තා කළ කොදෙව් පිලෙන් 17 වැනි ඔවරයේ සිවුවැනි පන්දුවෙන් හතරේ පහරක් වාර්තා වූයේ පන්දු 47කට පසුව. කොදෙව් මුළු ලකුණු 50 පන්දු 68කින් ද, මුළු ලකුණු 100 පන්දු 152කින් ද වාර්තා වූ අතර ඉනිමේ පළමු ඕවර 25 අවසන් වන විට ඔවුන් කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 94ක් රැස්කර ගෙන සිටියා. පිළිතුරු ඉනිමේදී ජයග්‍රහණය සඳහා අභියෝගාත්මක ඉලක්කය වේගයෙන් හඹා ගිය ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළමු ඔ්වර 25 අවසන් වන විට කඩුලු 4ක් දැවී රැස්කර ගෙන සිටි මුළු ලකුණු ප්‍රමාණය 182ක්.
කොදෙව් මුළු ලකුණු 100දී ඔවුන්ට සිවු වැනි කඩුල්ල අහිමි වෙමින් කීසි කාටි දැවී ගියා. 26 වැනි ඕවරයේ චරිත් අසලංකගේ දෙවැනි පන්දුවට ‘ලෝං ඕන්’ ස්ථානයට ඉහළින් හයේ පහරක් එල්ල කළ කාටි ඊළඟ පන්දුවට ද එවැනි ම පහරක් එම ස්ථානය ට ම එල්ල කළ ද මේ අවස්ථාවේදී එම උඩ පන්දුව රැක ගැනීමට දුනිත් වෙල්ලාගේ සමත් වුනා. පන්දු 58කින් ලකුණු 37ක් රැස් කළ කාටි, ෂර්ෆේන් රදෆෝඩ් සමග එක්ව සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75කින් ලකුණු 46ක් රැස් කළා.

රදෆෝඩ් සහ රොස්ටන් මුළු ලකුණු ප්‍රමාණය 185 දක්වා ඉහළ නංවමින් සිටියදී ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් තරගය පස්වරු 5.00 ට නතර වූ විට ඕවර 38.3ක් යවා අවසන්ව තිබුනා. ඒ වන විට ෂර්ෆේන් රදෆෝඩ් හා රොස්ටන් චේස් ලකුණු රැස් කිරීමේ වේග රිද්මයක් ආරම්භ කරමින් සිටි අතර වර්ෂාව හරස් නොවන්නට කොදෙව්වන් මීට වඩා ලොකු මුළු ලකුණු ප්‍රමාණයකට යාමට ඉඩ තිබුනා යැයි කෙනෙකුට සිතෙන්න පුළුවන්.
“දේශගුණය කියන්නේ අපට පාලනය කරන්න බැරි දෙයක්” බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායක ෂායි හෝප් තරගයෙන් පසුව කියා සිටියා.
“ඇත්තෙන්ම මෙය අභියෝගයක් ගෙන දුන් වාතාවරණයක්. නමුත් ඊළඟ තරගයේදී අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුයි. අපේ ඉනිමේ අගදී අපි උත්සාහවත් ක්‍රීඩාවක් පෙන්වමින් සිටියා. ෂර්ෆේන් (රදෆෝඩ් නොදැවී ලකුණු 74) අවතීර්ණව සිටියේ කදිම පිතිහරඹයක. අපි එයාගේ ක්‍රිකට් පොතෙන් පිටුවක් ලබා ගැනීම අවශ්‍යයි.”

තරග විනිසුරුවන් විසින් පස්වරු 7.45 ට පිටිය පරීක්ෂා කිරීමෙන් පසුව තරගය නැවත ආරම්භ වූයේ පස්වරු 8.25 ට.
කමිඳු මෙන්ඩිස් මේ තරගයට ක්‍රීඩා කළේ ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් මේ වසරේ සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස නම් කිරීමෙන් පසුව ICC විසින් ඔහුට ප්‍රදානය කෙරුනු ලාංජනය - PIN Badge - පැළඳ ගෙන.
දෙපිල අතර දෙවැනි ODI තරගය මේ 23 වැනිදා පැවැත්වෙන්නේ ද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සබැඳි පුවත්
ශ්‍රී ලංකාවට ඕවර 37කින් ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක්






