leader s

‘තරගයේ වීරයා’ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංගගේ ප්‍රබල දඟ පන්දු ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ (23) පැවති දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු පහකින් පරාජය කර දෙපිල අතර තරග තුනකින් සමන්විත තරගමාලාවේ 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගත්තා.

හසරංග ලකුණු 40කට කඩුලු 4ක් ද, තීක්ෂණ ලකුණු 25කට කඩුලු 3ක් ද, හසරංග ලකුණු 40කට කඩුලු 4ක් ද, අසිත ප්‍රනාන්දු ලකුණු 35කට කඩුලු 3ක් ද ලබා ගනිමින් කොදෙව් ඉනිම ඕවර 36ක් ඇතුළත ලකුණු 189කට සීමා කළා.

 

ලකුණු 190ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 5ක් පමණක් අහිමි කර ගෙන ලකුණු 190ක් රැස් කරමින් මේ ජයග්‍රහණය වාර්තා කළේ තරගයේ තවත් 34ක් ඉතිරිව තිබියදී. මෙය මේ වසර තුළ ශ්‍රී ලංකාව පිට පිට ලබා ගත් පස්වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලා ජයග්‍රහණය යි.

ඉලක්කය හඹා යාමේදී ශ්‍රී ලංකාවේ කඩුලු දෙකක් පළමු ‘පවර් ප්ලේ’ ඕවර නවය ඇතුළත බිඳ වැටුන ද නිශාන් මදුශ්ක හා සදීර සමරවික්‍රම ලකුණු 62ක සබඳතාවක් ගොඩනගමින් කණ්ඩායමට ජයග්‍රහණ කරා යාමේ මං විවර කර දුන්නා.

පළමු තරගයේදී ලකුණු 77ක් ලබා ගත් නායක චරිත් අසලංක ඊයේ දෙවැනි තරගයේදී ද සුවිශේෂී පිතිකරණයක නියැලෙමින් හතරේ පහර 7ක් හා හයේ පහරක් සමග නොදැවී ලකුණු 62ක් රැස් කළේ පන්දු 61කින්. ඔහු සහ ජනිත් ලියනගේ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65කින් ලකුණු 55ක සබඳතාවක් පිහිටුවූවා. ලියනගේ පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමග ලකුණු 24ක් ලබා ගත්තා.

 

SRT3546
කඩුලු සබඳතා අතින් මේ තරගයේ විශේෂ සිදුවීම වූයේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ෂර්ෆේන් රදෆෝඩ් හා ගුඩාකේශ් මෝටිගේ වාර්තාගත 9 වැනි කඩුලු සබඳතාව. කොදෙව්වන් 189ක මුළු ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ මේ දෙදෙනා පන්දු 114කින් ගොඩනැගූ ලකුණු 119ක අගනා සබඳතාව යි.

ප්‍රබල ශ්‍රී ලංකා පන්දු ප්‍රහාරය හමුවේ ලකුණු 58කට කඩුලු 8ක් බිඳ වැටී තිබියදී කඩුල්ලේ එක්වූ රදෆෝඩ් හා මෝටි කොදෙව් ඉනිම ලකුණු 177 දක්වා ඉහළ නංවමින් පිහිටුවූයේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වැඩිම නව වැනි කඩුලු සබඳතාවයි. මේ දෙදෙනා විසින් මකා දමනු ලැබුවේ වයි.කරියා සහ ඒ.එස්.ජෝසෆ් නවසිලන්තය ට එරෙහිව 2022 වසරේ අගෝස්තු මාසයේ බ්‍රිජ්ටවුන් හි දී තබා තිබූ ලකුණු 85ක නව වැනි කඩුලු සබඳතාවයි. මීට අමතරව මෙය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ සිවු වැනියට හොඳම නව වැනි කඩුලු සබඳතාව ද වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 2ක් ලකුණු 25කට බිඳ වැටිනි. දැවී ගිය පිතිකරුවන් වූයේ අවිශ්ක ප්‍රනාන්දු (9) හා කුසල් මෙන්ඩිස් (3). සිවු වැනි ඕවරයේදී අල්සාරි ජෝසෆ්ගේ පන්දුවට ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි බ්‍රැන්ඩන් කිං ප්‍රදර්ශනය කළ දක්ෂ උඩ පන්දු රැකීමකින් ප්‍රනාන්දු මුළු ලකුණු 14දී දැවී ගිය අතර නව වැනි ඕවරයේදී ගුඩාකේශ් මෝටිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මෙන්ඩිස් මුළු ලකුණු 25දී දැවී ගියා.

නිශාන් මදුශ්ක සහ සදීර සමරවික්‍රම තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65කින් ලකුණු 62ක් එක් කරමින් සිටියදී ජෝසෆ් විසින් මදුශ්ක‌ගේ කඩුල්ල බිඳ දැමුවා. පන්දු 44කට මුහුණ දුන් ඔහු හතරේ පහර හයක් සමග ලකුණු 38ක් රැස් කළ අතර 20 වැනි ඔ්වරයේදී ශ්‍රී ලංකා තෙවැනි කඩුල්ල බිඳ වැටුනේ ලකුණු පුවරුවේ මුළු ලකුණු 87ක් සටහන්ව තිබියදී.

 

c8b01790 9166 11ef 89ae 5575c76d98e6.jpg
මුළු ලකුණු 112දී ශ්‍රී ලංකාව ට සිවු වැනි කඩුල්ල අහිමි වෙමින් සදීර සමරවික්‍රම ලකුණු 38කට දැවී ගියා. විසිතුන් වැනි ඕවරයේදී ඔහු දැවී යන විට පන්දු 50කට මුහුණ දී හතරේ පහර හයක් එල්ල කර තිබුනා.

චරිත් අසලංක සහ ජනිත් ලියන‌ගේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65කින් ලකුණු 55ක සබඳතාවක් පිහිටුවූවා. ලියනගේ පන්දු 34කින් ලකුණු 24ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් ද එල්ල කරමින්. මුළු ලකුණු 167දී ලියනගේ දුවද්දී දැවී යන විට යැවෙමින් තිබුනේ 34 වැනි ඕවරය.

කොදෙව් පිල වෙනුවෙන් අල්සාරි ජෝසෆ් ලකුණු 30කට කඩුලු 2ක් ලබා ගත්තා.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේදී රදෆෝඩ් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් එල්ල කළ අතර ලකුණු 80ක ඔහුගේ නිර්භීත ඉනිම වාර්තා වූයේ පන්දු 82කින්. ආක්‍රමණශීලී පිතිහරඹයක යෙදුනු මෝටි ද හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 50ක් රැස් කළ අතර මෙය ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අර්ධ ශතකය වුනා.

 

bd5487a0 9166 11ef b3c2 754b6219680e.jpg
වනිඳු හසරංග ලකුණු 40කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 3ක් ද, අසිත ප්‍රනාන්දු ලකුණු 35කට කඩුලු 3ක් ද ලබා ගැනීමට සමත් වුනා.

රදෆෝඩ් ලකුණු 23ක් හා ලකුණු 72ක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් බේරුණේ පිළිවෙලින් ජනිත් ලියනගේ හා නිශාන් මදුශ්ක උඩ පන්දු අතහැරීම හේතුවෙන්.

කොදෙව් මුළු ලකුණු ප්‍රමාණය 99/8ක්ව තිබියදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවට රදෆෝඩ් දුන් උඩ පන්දුව ‘මිඩ් ඕන්’ ස්ථානයේදී ලියනගේ අතින් ගිලිහුනු අතර ලකුණු තත්ත්වය 164/8දී දුනිත් වෙල්ලාගේ ගේ පන්දුවට දුන් උඩ පන්දුව රැක ගැනීමට මදුශ්ක ‘ඩීප් මිඩ් විකට්’ ස්ථානයේ සිට පැමිණිය ද ඔහුගේ උත්සාහය අසාර්ථක වුනා.

04df63f0 9168 11ef 89ae 5575c76d98e6.jpg

 

අවසානයේ රදෆෝඩ් දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවට එල්ල කළ උඩ පන්දුව හතරේ සීමාවේ ගෑවී නොගැවී සිට වෙල්ලාලගේ රැක ගැනීම නිසා. පළමු එක්දින තරගයේ ද කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් රදෆෝඩ් නොදැවී ලකුණු 74ක් ලබා ගත්තා.

වර්ෂාව හා අයහපත් කාලගුණය හේතුවෙන් පස්වරු 4.30 ට විදුලි ආලෝකය මධ්‍යයේ තරගය පැය දෙකක ප්‍රමාදයකින් පසුව ආරම්භ වූයේ පිලකට ඕවර 44 බැගින් සීමා වෙමින්. කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකාව ඔවුන්ගේ පන්දු ප්‍රහාරය ආරම්භ කළේ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට කැඳවා තිබූ මහීෂ් තීක්ෂණ පිට දඟ පන්දු යවන්නාගෙන්. බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම මේ තරගයට ද නම් කර තිබුනා.

මේ තරගයට ක්‍රීඩා කිරීම සඳහා තමාව කැඳවනු ලැබුවේ අවසන් මොහොතේදී බව තීක්ෂණ තරගයෙන් පසුව කියා සිටියා.

 

XDTW4

“හෝටලයෙන් එනකොට මම කණ්ඩායමේ සිටියේ නැහැ. නමුත් වර්ෂාවට ස්තූතිවන්ත වන්නට, පුහුණුකරු හා නායකයා මාව තරගයට යොදවන්න අන්තිම මොහොතේදී තීරණය කළා. ආපසු ඇවිත් තරගය ජය ගන්න හැකි වීම විශිෂ්ටයි. අලුත් පන්දුවෙන් ක්‍රීඩා කිරීම පහසු වුනේ නැහැ. මොකද, පන්දුව පරණ වෙනකොට පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම පහසු වුනා” යනුවෙන් තීක්ෂණ ප්‍රකාශ කළා.

 

කොදෙව් මුළු ලකුණු සංඛ්‍යාව 17ක්ව තිබියදී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම දවාලීමට තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු සමත් වුනා. තීක්ෂණගේ දෙවැනි ඕවරයේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ ගැටීමෙන් ඇලික් ඇතනේස් (1) පළමුව ආපසු ක්‍රීඩාගාරයට ගිය අතර වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුගේ දෙවැනි ඕවරයේ පන්දුවටකට ඔහු අත ට ම උඩ පන්දුවක් ලබා දෙමින් බ්‍රැන්ඩන් කිං (16) දැවී ගියා. අසිත ඔහුගේ ඊළඟ ඕවරයෙන් ද කඩුල්ලක් ලබා ගනිමින් ෂායි හෝප් (5)ගේ කඩුල්ල බිඳ දැමුවා. හෝප් දැවී ගියේ පන්දුව ඔහුගේ පිත්තේ අග වැදී කඩුල්ල සමග ගැටීමෙන්. මේ අනුව ඔ්වර 5යි පන්දු 4ක් අවසන් විට කොදෙව් කඩුලු 3ක් ලකුණු 23කට බිඳ වැටී තිබුනා.

වනිඳු හසරංග ඔහුගේ තෙවැනි ඕවරයේදී කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වුනා. ඔහුගේ පා දඟ පන්දුවලින් දැවී ගියේ රොස්ටන් චේස් (8) හා රොමාරියෝ ෂෙපර්ඩ් (4). 13 වැනි ඕවරයේදී මේ දෙදෙනා දැවී ගියේ පිළිවෙලින් මුළු ලකුණු 52 හා 56දී. පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් චේස් දැවී ගිය අතර ‘ඩීප් ස්කුවෙයා ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි තීක්ෂණ අතට උඩ පන්දුවක් දෙමින් ෂෙපර්ඩ් දැවී ගියා.

SRT3453343

 

මුළු ලකුණු 57 හා 58දී පිළිවෙලින් හේඩ්න් වොල්ෂ් හා අල්සාරා ජෝසෆ් ලකුණක් බැගින් ලබා ගෙන දැවී ගියේ 15 හා 16 වැනි ඕවරවල. මේ කඩුලු දෙක ලබා ගත්තේ තීක්ෂණ සහ හසරංග. පිතිකරුවන් දෙදෙනා ම දැවී ගියේ පන්දු කෙළින් ම කඩුල්ල සමග ගැටීමෙන්.

අල්සාරි ජෝසෆ් (1) හසරංගේ පන්දුවට 8 වැනි කඩුල්ල ලෙසින් මුළු ලකුණු 58දී දැවී ගියේ 16 වැනි ඕවරයේ.

36 වැනි ඕවරයේ අවසන් පන්දුවට ජේඩ්න් සීල්ස් (5), පන්දු යැවූ හසරංග අත ට ම උඩ පන්දුවක් දෙමින් දැවී යාමත් සමග කොදෙව් ඉනිම අවසන් වුනා. දෙපිල අතර තෙවැනි හා අවසාන ජාත්‍යන්තර එක්දින තරගය ලබන 26 වැනිදා පල්ලේකැලේදී පැවැත්වෙනවා.

crick 241024
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්